Sunday, January 19, 2014

"ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි" - :::උත්පලා::: - :::ඇය ආදරයේ දෙවගන වූවාය::: [තෙවන කොටස]




ඇත්තය! අක්කා කියූ දිනයට ඈ අප නිවසට පැමිණියා ය. එහෙත් තනිව නොවේ. ඇගේ මව , නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවා ය.

"
බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ"
ඇගේ අම්මා කීවේ අක්කාටයි.

"
ගණන් එහෙම පාඩම් කරන්න පුළුවන් ? ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලවත්"

කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවා ය. ඇය කුමක් කීව ද උත්පලා ගණන්කාරියක් බව මම හොඳින් ම දැන සිටියෙමි. මටත් සමහර වෙලාවන්හි ඈ ගණන් කියා දීමට ඉදිරිපත් වූවා ය. එහෙත් මම ඒ බවක් කියන්නට නො ගියෙමි. ගෙදර සිටියේ අක්කාත් මමත් පමණි. අම්මාත් තාත්තාත් රැකියාව සඳහා පිටත් ව ගොස් ය. අක්කා පමණක් ඔවුන් සමග කතා කිරීම හොඳ නැති යැයි සිතූ මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. උත්පලාත්, ඇගේ අම්මාත් මා දෙස බලා සිනාසුනහ. මම ද පොඩි සිනහවක් පෑවෙමි.

"
පුතාත් අපේ දූගෙ වයසෙ නේද?"

"
ඔව් නැන්දේ"

"
දෙන්නට එකට පාඩම් වැඩ එහෙම කරන්න බැරි ය?"

ඇගේ අම්මා කොතරම් මෝඩ ද? නො දන්න කොල්ලන් විශ්වාස කිරීම හොඳ නැත. මම පිළිතුරු නො දුන්නෙමි. ඒ වෙනුවට සිනහවක් දමා උත්පලා දෙස බැලීමි. ඈ පෙර දින රාත්‍රියේ නිදි මැරූ බවට සලකුණු තවමත් ඉතිරිව තිබුනි. ඈ පාඩම් කරන්නට ඇත.

"පව්"

උත්පලා නිවසේ රඳවා කාන්ති නැන්දා නගරයට යන බව පවසා පිටත් ව ගියා ය. අක්කා ඇයත් සමග මේසයට වාඩි වී කුමක් දෝ විස්තර කරන්නට වූවා ය.

**********

කෙසේ වුවත් අක්කා ඈ දන්නා සියලු ශිල්ප උත්පලාට උගන්නා ඈ පිටත් කරන්නට යන විට බිම් කලුවර වැටෙමින් තිබුණි. මම සාලයේ සෝපාවේ හොඳ නින්දක සිටියෙමි. අක්කා පැමිණ මා නැගිට්ටෙව්වා ය. මොකක් දෝ කරුමයකට හැම කුණු ගොඩ ම බේරුවල් බොක්කට ගලනවාක් මෙන් තවත් භාර දූර රාජකාරියක් අක්කා මට පැවරුවා ය.

"
මේ බං උත්පලා නංගිව ගෙදෙට්ට ඇරලල වරෙන්කො"

"
අනේ අක්කෙ? ඇයි අක්ක යන්ඩකෝ?"

"
මම ගියා ම කව් ද ගොනෝ රෑට කන්ඩ උයන්නෙ? අම්ම එන කොට රෑ වෙයි කිව්ව"

"
අනේ නිදිමතයිනෙ"

"
පව් යකෝ ඒ කෙල්ල! තනියම යන්නම් කිව්ව. ඒත් මේ කලුවර වැටිච්ච වෙලාවෙ තනියෙන් ඒකිව යවන්න බෑ නෙ මල්ලි. ඉතින් ටක් ගාල ගිහින් එනවකො! වැඩි දුරක් නෑ"

"
හා හා එහෙනම්" මම පැවසීමි.

"
හොඳ කොල්ලා, මේ එන ගමන් කඩේට ගිහින් පනහේ ඩයලොග් කාඩ් එහෙකුත් ගෙනෙන් සුදු මල්ලියේ" අක්කා කීවේ රුපියල් පනහක් මා අත තබා ය. මම කාමරයට ගොස් අවුලක් නැති ඇදුමක් දා ගෙන පිටතට පැමිණියෙමි. උත්පලා අක්කාත් සමග සාලයේ බලා සිටියා ය. අනතුරුව මම ඈ සමග පාරට බැස්සෙමි.

මා මොහොතක් නිහඬව ගමන් කලත් උත්පලාට නම් එසේ කරන්නට නො හැකි ය. මම ඒ බව දනිමි. ඈ කියවනවා වැඩිය, නරකක් නොවේ, කියවන කෙල්ලන් ලඟ පාළුව නැත.
එහෙත් අද ඈ නිහඬ ය. බිම බලා ගෙන පොත් ටිකත් තුරුලු කරන් ඔහේ ගමන් කරයි. මම ඈ දෙස බැලුවෙමි. වෙන දා ඇති සිනහව ඈ කෙරෙන් ඉවත් ව ඇත. මුහුණ වෙනදාට නැති අමුතු මලානික පාටකින් වැසී ඇත. බොහෝ වෙලාවක් හැඬූ අයකුගේ මෙන් ඇස් දෙක මදක් රතු ය.

"
ඒයි, මොකෝ?"

"
ඇයි දසිත්?"

"
නෑ! මොකක්ද ප්‍රශ්නෙ?"

"
මට? අනේ නෑ දසිත්! කිසිම ප්‍රශ්නයක් නෑ"

ඈ බිම බලා ගෙන ම උත්තර දුන්නා ය.

"
නෑ උත්පලා, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව! මට ඒක ඔයාගෙ මූණෙන්ම පේනව"

හ්ම්ම්ම්ම්! ඔව්! මා ඈ නමින් ඇමතූ ප්‍රථම අවස්ථාව එය විය. මම කොතරම් මිතුරු වුවද මින් පෙර කිසි දිනක ඈ නමින් ඇමතුවේ නැත. ඈට "කාඩ්" එකෙන් ඇමතීමි. [එය පැවසීම සුදුසු නොවේ]

ඈ මා දෙස තත්පර කීපයක් බලා සිටියා ය. ගමන් වේගය අඩු කලා ය. ඈ කුමක් දෝ සිතේ සඟව ගෙන දුක් වන බව මට වැටහුනි.

"
කියන්න ලමයෝ, ඔච්චරම හංගන්නෙ ඇයි? ප්‍රශ්නයක් නම්  මම උදව් කරන්නම්"

"
නෑ දසිත්, ඔයාට බෑ!"

මතක තබා ගන්න. තමන් කැමති කෙල්ලක් තමන්ට යමක් කල නො හැකි බව පැවසීම ඔබේ සිතට එල්ල කරන දරුණු පොලු පහරකි.

"
කියල ඉන්නවකෝ බැරි පුළුවන් කම කියන්න"

"
ඔය ඔයාට තරහ ගිහින්"

"
හ්ම්ම්ම් ටිකක් විතර"

"
නෑ දසිත්! ඔයාට තියා කිසි කෙනෙක්ට බෑ ඒ ප්‍රශ්නෙදි මට උදව් කරන්න"

"
ඇයි ඒ?"

"
දන්නවද ඊයෙ දිනේ කවද්ද කියල?"

"
නෑ? විසි හතරද කොහෙද? ඇයි?"

"
ඊයෙ තමයි තාත්තගෙ අවුරුදු දෙකේ දානෙ"

"
හෑ?"

මම පසුතැවිලි වීමි. ඇගේ පියාගේ දානේ? ඔහු මිය ගොසින්ද?

"
ඔව් දසිත්, කාටවත් මේක කියන්න එපා, මම ඔයාව අන්ශුවර් කරනවා නෙවෙයි ඒත් ප්‍රොමිස් වෙන්න"

"
අනිවාර්යෙන්! සොරි උත්පලා! මම ඒ බවක් දැනන් හිටියෙ නෑ"

"
ඔව්, අපි මෙහෙ පදිංචියට එන්න අවුරුද්දකට කලිනුයි තාත්ත නැති වුනේ, මට ඊයෙ එයාව ගොඩක් මතක් උනා දසිත්!"

මම ඈ දෙස බැලීමි, ඇගේ අහිංසක දෙනෙත් අග තවත් කඳුලු බිඳුවක් නැග ඇත.

"
මම ගොඩක් අඬන්න ඇති තනියම කාමරේට වෙලා! අම්ම කැමති නෑ මම දුක් වෙනව බලන් ඉන්න, ඒත් තාත්ත එක්ක ඉඳපු අතිතෙ මට අමතක වෙන්නෙ නෑ, සමහර විට අම්ම මම අඬනව දකින්න ඇති, ඒකයි මාව ඔයාලගෙ දිහා එව්වෙ"

"
උත්පලා"

මම පැවසීමි.

"
ඔයා දුක් වෙන්න එපා, ඔයා තනි වෙලා නෑ නෙ! ම්ම්ම්ම්ම් මම, අක්කා, අපේ අම්මල තාත්තල, ඔයාගෙ අම්මා, ඉස්කෝලෙ අය........ මේ හැමෝම ඔයත් එක්ක ඉන්නව හැමදාම"

"
තෑන්ක්ස් දසිත්, ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි"

ඈ කීවේ පාරේ ඈත බලාගෙනය.

"
නෑ අපි ඉන්නව හැම දාම ඔයත් එක්කම! ආයෙමත් කවදාහරි දුකක් දැනුනොත් අපේ ගෙදර දොර ඇරල තියෙන්නේ! ඕන වෙලාවක අක්කත් මමත් ඉන්නව ඔයාගෙ දුක අහන්න"

ඈ යන්තමින් සිනහ වූවා ය. අත් ලේන්සුව ගෙන ඇස් දෙක පිස දා ගත්තා ය.

"
දැන් වත් හිනා වෙලා ඉන්නවා, ඔයා දුකින් ඉන්න කොට මතත් නිකම් ඇඬෙන්න වගේ"

"
? ඒ මොකටද ඔයා දුක් වෙන්නේ?"

මම නිරුත්තර වූයෙමි.

"
යාළුකමට"

ඈ සිනහ වූවා ය! දුක්බර සිනහවක් වූව ද ඈ තුල පැවති ලස්සන ඒ තුලින් නොමදව විදහා දැක්විණි, එයින් මෙයින් අප ඇගේ නිවස අසලට ම පැමිණ තිබුණි. ඈ මා දෙස බැලුවා ය. ගෙ තුල ඇගේ අම්මා කිසියම් වැඩක් කරනු, විදුලි පහන් එළියෙන් මට පෙණුනි,

"
එහෙනම් උත්පලා මං යනවා. ආයෙ එන්න කෝ ඒ පැත්තෙ"

"
තෑන්ක්ස් දසිත්! එන්න වෙනවා කොහොමත් ආයෙම! ගණන් අහගන්න එපැයි....... ඇතුලට එනවද ඔයා? ම්ම්?"

"
දැන් බෑ ළමයෝ! පස්සෙ එන්නම්කෝ හොඳේ, මම යනවා තවත් රෑ වුනොතින් මට මෙහෙ ඉන්නයි වෙන්නේ"

"
හ්ම්ම් හ්ම්ම් පරිස්සමින් යන්න හොඳේ"


ඈ දුබල ලෙස අත වැනුවා ය. මම ඈ ගෙ තුලට යන තෙක් ම ඈ දෙස බලා සිටියෙමි.

------------------------------------------------------------
ඉතිරිය පසුවට..........
------------------------------------------------------------



------------------------------------------------------------
------------------------------------------------------------
------------------------------

0 comments:

Post a Comment