Sunday, January 19, 2014

"අනේ සොරි ඔයා නිල් ම නිල් පාට වෙලා" - :::උත්පලා::: - :::ඇය ආදරයේ දෙවගන වූවාය::: [දෙවන කොටස]




උත්පලා ගැන ම වැඩියෙන් කියවීම ඔබ අනුමත නො කරනු ඇත. එහෙත් ඇය මෙහි කතා නායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමැතිව මෙම කතාව සාධාරණ ව ඉදිරියට ගෙන යා නො හැක. මම ඇගේ පෙනුම පිළිබඳ අංශු මාත්‍රයක සිතිවිල්ලක් ඔබට ගෙන හැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇය ව හඳුනන්නේ නැත. කිසි දා හඳුනා ගන්නේ ද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දීමට සූදානම් ය. "ඈ හරියටම මගේ සොහොයුරිය වැනිය". මගේ සහෝදරිය පිළිබඳ නො රුස්සන ස්වභාවයක් දක්වන මා වැන්නකු මිතුරියක් සහෝදරියකට සමාන කරන්නේ මන්දැයි ඔබ අසනු ඇත. එය මට අමුත්තක් නොවේ. මාගෙන් කොතෙකුත් දෙනා එසේ අසා ඇත. එය පැහැදිලි කිරීම මදක් අමාරු කාරියකි. උත්පලා මා සමග කොයි තරම් මිතුරු වුවද ඈ තුල පැවති එක් ගුණාංගයක් මෙයට හේතුව වන්නට ඇත. ඒ නම් මා ගැන සහ වඩාත් ම මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද අක්කාටත් වඩා සෙවිල්ලකින් ඈ පසු වීමයි. මගේ පිස්සු වැඩ වලටත් කිසිවක් නොකියා ම උදව් කරන, එහෙත් පමණට වඩා මා "වළෙහි" හැසිරෙන බව දුටුවොත් ඈ සතු නිෂේධ බලය පාවිච්චි කොට මා ගොඩ ගන්නා මෙවන් කෙල්ලක් ගැන ඔබ අසා වත් නොමැති බව මම ඔට්ටු අල්ලමි. ඇත්ත ය! ඈ මා පිළිබඳ දරන්නේ තවත් එක කොල්ලෙකු ගැන දක්වන හැඟීමක් නොවේ. එහෙත් එය ආදරයත් නොවේ, මේ ලොව අතර මා ඈ ඉදිරිපිට මොකක් දෝ සිතා ගත නො හැකි හේතුවක් නිසා දන නමමි. අක්කා මමත්, උත්පලාත් ගැන දරන්නේ වෙනස් ම අදහසකි. ඈ සිතා ඉන්නේ මා තවමත් පොඩි එකා බවත් සහ උත්පලා යනු ඇගේ ඔත්තු සේවයේ දක්ෂ සේවිකාවක් බවත් ය. මා සමග මිතුරු කෙල්ලක් සිටීම පවා අක්කාට මහත් විනෝදයක් ගෙන දුන් බව නම් නොරහසකි.

"
පුදුමයි මල්ලි උඹේ යාළුවෙක් හැටියට වත් කෙල්ලක් ඉන්නවා".

ඈ මට දිනක් කිව්වා ය.

"ඒ මොකෝ හරකියේ?"

"නෑ ඉතිං පෝරිසාදයෙක් එක්ක යාළුවෙක් වෙලාවත් ඉන්ඩ කැමති කව් ද, පිස්සු නටන් නැතුව වැඩ කරනවා නැත්නම් කෙල්ලෙක්වත් බලන එකක් නෑ".

"
ඉතිං බං බලන් නැත්තෙ මගෙ දිහානේ, ඒකට ඔහෙගෙ ඇඟ කසනව ද?".

"
නෑ ඉතිං".

අක්කා සමච්චල් සිනාවක් පෑවා ය.

"
මගෙ මල්ලියා ගෙදරට නාකි උනා ම මට නෙවේ බලාගන්ඩ වෙන්නේ කන්ඩ අඳින්ඩ දීලා".

ඈ අදහස් කලේ කුමක් දැයි, මට වැටහීමට දින ගණනාවක් ගත වුවත්, ඇගේ එම ඇනුම්පදය නිසාම මම වැඩියෙන් කෙල්ලන් ආශ්‍රය නො කළෙමි. මුලින් මා උගත් බාලක පාසලේ දී මෙන් ම මෙහි දී ද එසේ වූවා නම් මගේ අනාගතය ම මහා "ගෑනු ඩයල්" කාඩ් එකකින් සැරසෙන බව මම අදටත් සිහි කරමි. මාගේ යහළුවන් අතරට තම ගැංසියේ උත්පලා ද එක් වූ බව අක්කා දැන ගත්තේ කෙසේ දැයි මම නො දනිමි. එහෙත් ඈ එය දැන ගත්තා ය. 10 ශ්‍රේණි අවසාන වාර විභාගයේ අවසාන දිනයේ මම චිත්‍ර විෂයේ යෙදීම නිසා අනිත් උන්ගේ පිටවීමෙන් පසුව ද මට රැඳී සිටීමට සිදු වූයේ පෙර පවකට විය හැක. කල්පයක් මෙන් දැනී ගිය අමතර පැය තුනකට පසු මම පන්තියෙන් පිටතට පැමිණෙමින් සිටියෙමි. කිසිවකු විසින් එල්ල කල නිල් ප්‍රහාරයකින් මම නෑවී ගියෙමි. ඉහින් කණින් නිල් පැහැ බේරෙන අතරේ මා අධීක්ෂණයට සිටි ගුරුතුමා ද කට ඇරන් මා දෙස බලා සිටියේ ය.

ඉන් පසු මා පිටුපස සිටි අයෙක් ට අත දිගු කොට

"මෙහෙ වරෙන්" 

කීවේ ය. ඉදිරියට ආවේ කව් දැයි ඔබ අනුමාන කරන්නට ඇත. ඔව්! ඒ උත්පලා විය. 

"කිව්වහම වරෙන්!"

 
ඈ ගුරුවරයා ළඟට ආවා ය. ඇගේ ඇස් දෙකින් කඳුළු නො වැටුනත් අතෙහි වූ ජලය පිරුණු පොලිතින් කවර දෙකක් මගේ නෙත ගැටුණි.

"තමුසෙ හිතන් ඉන්නෙ මේක කෝලම් මඩුවක් කියල ද? ? ඉස්කෝල අස්සේ ඕව බෑ..... බලනවා තව ඩිංගෙන් මමත් ඉවරයි නොවැ? ? අද තමුසෙට කලින් යන්න බෑ! දණ ගහනවා මෙතැනින්. හ: මුං කෙල්ලෝ නෙවෙයිනේ වසවර්ති මාර දූතියො".

ගුරුතුමා ඇගේ අතින් අල්ලා බිම දණ ගැසීමට නියම කලේ ය. මම ඈ දෙස බැලුවෙමි. අභය දානය ඉලා හඬන අහිංසකාවියක් මෙන් ඈ නෙත් බිම යොමා සිටියා ය. පිටුපසින් ඇසුණු සද්දයකින් මම එදෙස හැරුණෙමි. එහි සිටියේ අක්කා ය. උත්පලා නිල් ගසන්නට ඇත්තේ අක්කාට ය, එහෙත් එය වැදුණේ මට නිසා ඇයට දඬුවම් විදීමට සිදු ව ඇත. මට අක්කා කෙරේ කෝපයක් ද, උත්පලා කෙරෙහි අසීමිත අනුකම්පාවක් ද ඇති විණි. ඇගේ දෑසේ වූ බැල්ම එවැනි හැඟීමක් ඕනෑම අයකු තුල ඇති කරන්නට සමත් වෙයි.

"
සර්!" 

මම හඬ අවදි කළෙමි. ගුරුවරයාත්, උත්පලාත් මා දෙස බැලුවේ එකවිටය.

"සර්! මගෙත් වැරැද්ද, මම මොකුත් බලන් නැතුව එළියට පැන්න. මෙයාට යන්ඩ දෙන්න සර්..... නැත්නම් මටත් මේ දඬුවම ඕන"

ගුරුවරයාගේ කට කොණකට නැගී ආවේ සිනහවකි. 

 "
ඔය ළමයා ද එතකොට වැරදි? ? හ: විනයක් තියෙන්න ඕන මොන දේක උනත්".

කෙල්ලක් ව බිම දණ ගස්වා තිබීම විනය වත් දැයි ඇසීමට සිතුණ ද මම කට වසා ගතිමි. 

"ඔය ළමයා මෙතැනින් යන්ඩ දැන්, විභාගෙ ඉවරයිනෙ! ඈ? මෙයා ඉඳපු දෙන්".

මම එකටෙක කිරීමට ම උපන්නෙමි. ගුරුවරයා බලා සිටි යදී ම ඈ අසල දණ නමා බිම වාඩි වීමි. අක්කා මුව හයාගෙන මා දෙසත් ගුරුවරයා දෙසත් බැලුවා ය. ගුරුවරයාට උපරිම කේන්තිය ම නැංග බව අක්කාට වැටහෙන්නට ඇත. ඇය සිය බලය පාවිච්චි කලේ මේ වෙලාවේ දී ය. ඇය කිසිත් නො දන්නා සේ පන්තිය තුලට ආවා ය. ගුරුවරයා හමු වී මදක් කතා බහ කරන ලදී, අනතුරුව මගේත්, යෙහෙළියගේත් කණින් අල්ලා ඇද ගෙන යන අක්කා ව දර්ශනය විය. 

අක්කා මාව රැගෙන ගියේ පාසලේ ක්‍රීඩාගාරය දෙසට ය. යම් තරමක පාළු බවක් ඉසිලුවත් විභාග නිසා පාසල් කලින් අවසාන වීමේ ප්‍රීතිය සැමරීමට පිට්ටනියේ නොයෙකුත් ආතල් පැවැත් විණි.

"
තමුසෙලා දෙන්න අඳුරන ව කියල මම දන්නෙ නෑ නේ? ඒ කොහොමද?"

අක්කා ඇසුවා ය. ඒ වචනවල ගැබ් වූ අර්ථය මට වටහා ගැනීමට අපහසු නො විණි. අක්කා අසන්නේ ඈ මගේ පෙම්වති ද යන්න යි. උත්තර දුන්නේ මම නොව උත්පලා ය. ඈ සිය කුරුලු සරින් සියලු විස්තර අක්කාට පැහැදිලි කර දුන්නා ය. 

"
හ්ම්ම්ම් හ්ම්ම් එහෙමයි වුනේ එතකොට නේද".

අක්කා නඩු තීන්දුව දෙන්නට සූදානම් වෙයි.

"
කොහෙද එක පන්තියෙ උනාට අද වෙන කම් කතා කරලවත් නෑ" උත්පලා අක්කාට කීවේ මා දෙස බලා නෝක්කාඩු ස්වරයෙනි.

"
එහෙම තමයි අපේ මල්ලිලා!" අක්කා මා වැනුවා ය.

"ඒ උනාට මම කරපු දේ සාධාරණ කරන්න හැදුවනේ මෙයා, තෑන්ක්ස්! ඔයා හොඳ ම හොඳ කොල්ලෙක්".

උත්පලා කීවේ ඇත්තෙන්ම ස්තුති පූර්ව කව බව මට වැටහුණි. 

"
අපෝ ඕක මොකක්ද! මම කලේ මට හරිය කියල හිතුණ දේ! අනික කෙල්ලෙකුට ඔහොම පනිශ් කරන්න හොඳ ද? නෑ නේ".

මම කීවෙමි. 

"
යකෝ! මයෙ හිතේ මේකා ඔය කෙල්ලෙක් එක්ක මූණට මූණ කතා කලේ මම දැකපු පළවෙනි පාරට."

අක්කා සමච්චලයෙන් කීවා ය. 

"කොහෙද ගෙදරත් ඉතිං ගෑණි වගේ නේ ඉන්නේ"

අක්කාගේ වදන් හමුවේ උත්පලා මා දෙස බලා සිනාසුණා ය. [කලිසම මා වෙතින් මිදී පියාඹා යනු මට දැනුණි, එය ඈත අහසේ පාවී ගියේ ය].

"
අනේ එහෙම පේන්නෙ නෑ නේ".

උත්පලා මා ආරක්ෂා කිරීමට මෙන් කීවා ය. 

"
ඒක නෙවී දැන් වත් ඔයා ව අඳුරන්න එපැයි, නම මොකක්ද?"

මම ලැජ්ජාව වසා ගැනීමටත් සමග ඇසීමි.

"
මම උත්පලා! ඔයා?"
["උත්පලා" ඒ වචනය මගේ දවසේ වචනය වූවා ට සැක නැති, ඒ තරම් ම අර්ථයක් එහි විය].

"
දසිත්".

"
මේ ඉන්නෙ මගෙ වන් ඇන් ඔන්ලි සහෝදරයා".

අක්කා ඌණ පූරණයක් එක් කලා ය. උත්පලා සිනහ වූවා ය.

"
මට යන්න ඕන අක්කේ! ස්කූල් වෑන් එක ඇවිත් ඇති. බායි! මම යනවා දසිත්! අනේ සොරි ඔයා නිල් ම නිල් පාට වෙලා"

"
නිල් වලින් නෑව ම රතු පාට වෙනවයැ මෝඩියේ, පරිස්සමින් යන්න"

අක්කා කීවා ය.

"
අපෝ කමක් නෑ, බායි!".

මමත් කීවෙමි. සබකෝලයක් නැතිව ඒ වචන පිට කිරීමට ලැබීම ද වාසනාවකි. එදින සවස අක්කා මා පාඩම් කරද්දී මගේ කාමරයට ආවේ මා සඳහා තේ කෝප්පයකුත් රැගෙන ය. වේලාව සවස හතරට පමණ වූයෙන් මව සහ පියා තවමත් පැමිණ නැත.

"
මල්ලි පාඩම් කරනවද?".

ඈ ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුම වීමි.

"
මොකෝ කවදාවත් නැතුව මාව මතක් වෙලා? ශාහ්! තේ එකකුත් හදල තියෙන්නේ".

"හ්ම්ම්, මල්ලි මේ".

"
ඔය එන්නේ නම් මොකක් හරි ඉල්ලන්න, මට තේරෙනවා ඒක".

"
ඔව්".

"
මොකක්ද?"
අක්කා මා අසලින් ම වාඩි වූවා ය.

"
මල්ලි, මම ඔයා ව දැක්කේ මහ වගකීමක් නැති වස නපුරෙක් විදියට, ඒත් මට දැන් තේරෙනවා ඔය වගකීමක් තියන කොල්ලෙක් කියල"

මම පුදුම වීමි. ඈ මා සමග කුමක් කතා කරන්නට ද මේ එන්නේ?

"
ඉතින් ඇයි එහෙම හිතන්නේ අක්කේ?".

"
පනින් නැතුව ඉන්නවකෝ කියන කම්. ඔයා අද අර කෙල්ල නිසා අර වගේ ප්‍රශ්නෙකට පැටලුණා, බලන්න ඒක මම දැකපු ගොඩක් ම ලොකු කැප කිරීමක්".

"ඒක මහ දෙයක් නෙවී අක්කේ! මට පව් කියල හිතුණ එයා දැක්ක ම! අනික එයා කරදරේ වැටුණේ ඔයා නිසා යි".

"මොක හින්ද හරි, ඔයා වෙන කෙනෙක් වෙනුවෙන්, ඒ කියන්නෙ විශේෂයෙන් අඳුරන්නෙ වත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඉදිරිපත් උනා, බලන්න ඔයාගෙ හොඳ ලස්සන ගති ගුණ එළියට ගන්න ඔයාට ඔය වගේ ම සිද්ධියක් එන්න ඕන ද?".

"
නෑ එහෙම එකක් මම කල්පනා කරල නෑ".

"
මල්ලියෝ, මේ අහපන්. දැන් උඹ මගේ මල්ලි කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ! ඉස්සර මම මල්ලි ව දැක්කේ කිසිම සතුටක් නැති, යාළුකමක් නො දන්න, ගෑනියෙක් වගේ එකෙක් හැටියට. ඒත් ඔයා මගෙ ඇස් ඉස්සරහ ම පෙන්නුව ඔයා එහෙම නෑ කියල. මම විතරක් නෙවෙයි උත්පලා උනත් එහෙම හිතනවා".

"
ම්ම්ම්ම් අනේ මන්ද අක්කේ".

"
අනේ මන්ද නෙවී, මම උත්පලා ගැන නො දන්නවා නෙවීනේ? ඒකි මහ පුදුම චරිතයක් කතා බහ කරන්නෙත් හිතල මතල. ඒකිගෙන් සප් එක ලැබෙන නම් ඉස්කෝල ම උනත් නම්ම ගත්තෑකි".

"
මට ඉස්කෝල නම්ම ගන්න ඕන නෑ අක්කේ, මම පාඩුවෙ ඉන් නම්".

"
මම කියන්නෙ මේ කයි මලයෝ, නමක් තියපන්. ඔයාට කරන්න පුළුවන් වල් නැති ඕනම කොලු කමක් කලාට කමක් නෑ, ඒත් වැරදි පාරෙ යන්න එපා. එහෙම උනොත් උඹට දෙයියන්ගෙම පිහිටයි."

අක්කා මගේ නිදහස මෙතෙක් කාලයක් සීමා කොට තිබූ බැම බොහොමයක් එදින සිට නිදහස් කළා ය. උත්පලා නිසා මට ලැබුණු පළමු දායාදය එය යි.

**********

"මල්ලි මල්ලි අන්න උත්පලා මෙහෙ එනවා කිව්ව අනිද්දා".
අක්කා දිනක් පන්ති ඇරී නිවසට පැමිණ මට කිව්වා ය. 

 "
ඉතිං".

"
ඉතිං කියන්නෙ ඕයි, තමුසෙගෙ යාළුවානේ".

"
මටත් වඩා එයා ව අඳුරන්නෙ අක්කනේ, එයා කව් ද? කොහේ ද? මොකුත් මම දන්නෙ නෑ!".

"
මැටි හරකෝ එහා ලේන් එකේ ඉන්න කෙල්ල ව මූ අඳුරන්නෙ නෑ".

"
අනේ ඇත්තටම මම ඒ බවක් දැනන් හිටියේ නෑ අක්කේ, අනික මේ නිවාඩු කාලේ මොකෝ එයා මෙහෙ එන්නෙ?".

"
උත්පලයි එයාගේ අම්මයි අද ටවුමෙදි හම්බ උනා මට, එයාලගේ අම්ම කිව්වා උත්පලාට ගණන් එහෙම ගොඩක් අමාරුයි, ඉතින් පොඩ්ඩක් උගන්නන්න කියල".

අක්කා රූපවාහිනිය දමා වාඩි වූවා ය.


"
ඉතින් මම කිව්ව අනිද්දා මම ගෙදරය, පන්ති නැතිය, මේ පැත්තෙ ආවොත් කියල දෙන්නම් කියල. අනේ බං තරහ නැතුව ඔන්න ඔය බිස්කට් ටිං එක දෙනවා ද?".

------------------------------------------------------------
ඉතිරිය පසුවට..........
------------------------------------------------------------



------------------------------------------------------------
------------------------------------------------------------
------------------------------

1 comment:

  1. ඒ අඩෝ ඇත්තම කිව්වොත් මේ එපිසෝඩ් එකේ ඉඳන් තමා බන් කතාව කියවන්න ආස හිතුනේ...

    ReplyDelete