Sunday, January 19, 2014

:::උත්පලා::: - :::ඇය ආදරයේ දෙවගන වූවාය::: [පළමු කොටස]






මම මගේ ජීවිත කාලයෙන් වසර දාහතක් ගෙවා ඇත්තෙක්මි. එනම් දැනට පාසල් ජීවිතය නම් දෙවරක් හිමි නොවන භාග්‍ය මත් කාල පරාසයේ අගය වචනයේ පරිසමාප්තාර්තයෙන් ම විඳින කොලු ගැටයෙක්මි. මාගේ කතාව ඇරඹීමට පෙර මම කවුදැයි ඔබට හඳුන්වා දීම යුතුකම කැයි බොහෝ කතුවරයන් සලකන නිසා මම ද එය එසේ යැයි පවසමි. මම නමින් දසිත් වෙමි. මිතුරන්ට නම් "පැණියා" ය, ගුරුවරුන් මා අමතන්නේ දෙමාපිය වාසගම නොහොත් "ජයසිංහ" නමිනි. ගෙදරට මම "පොඩි පුතා" වීමි. එසේ වන්නට ඇත්තේ මාගේ වැඩිමහල් සොයුරිය නිසා ය. ඇය මට වඩා සම්පූර්ණ වසරකුත් මාස දෙකක් වයසින් උසස් ය. ඇය ගෙදරට ලොකු දුව වූවා සේ ම පාසලේ දීත් ගෙදරටත් මෙකී නොකී හැම තැනට ම නමින් "ලක්ශිකා" වූවා ය.

රට පුරා තැනින් තැන විසිරුණු රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණි රැකියා හිමි උදවිය අතරට මාගේ මව සහ පියා දෙදෙනා ම ඇතුළත් වී තිබීම මටත් වඩා ඔවුන්ගේ අනාගතය සඳහා ආයෝජනයකැයි සැලකිය හැකි ව තිබුණ ද මා කෙරෙහි ඔවුන් දක්වන ආදරය රැකියාවට තබා අන් කිසිවකටත් යටපත් කර ලිය නො හැකි වීම මා ලද මහඟු දායාදයක් වීම නම් නො වැළැක්විය හැකි දෙයකි. අප ජීවත් වන්නේ ලක්දිව එක්තරා ප්‍රසිද්ධ නගරාන්තරික මාවතක ය. නගරාන්තරික කීවාට උක්ත නගරයෙන් කිලෝමීටර පහ හයක් අප සිටින ප්‍රදේශයට වෙයි. මා පාසල හැටියට තෝරා ගෙන තිබුණු විදුහලට අප නිවසේ සිට බසයකින් හෝ අන් රථයකින් මිස පයින් නම් නො යා හැකි ය. එහෙයින් මම හැම දින ම සහෝදරිය සමග පාරට විත් බසයක එල්ලී නීරස කාලච්ඡේද සහිත ඇත්තෙන්ම රසවත් වූ පාසල කරා පියනගමි.....

සමහර විට ඔබට ද "අක්කා" කෙනෙකු සිටිනවා විය හැක, කෙතරම් සහෝදර ප්‍රේමයෙන් බඳිනු ලැබූ ව ද එම බැමි හැම එකක් ම කඩා බිඳ ලන්නට සමත් දේවල් ඔවුන් අතින් සමහර විට සිදු වේ. එහෙත් අපි ඒවා ගණන් නො ගනිමු. මට ද තිබූ ප්‍රධාන ප්‍රශ්නය නම් නිරතුරු විමසිලිමත් දෑසක් සහ පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු බහුතරයක ගේ ඔත්තු සේවා මාගේ සහෝදරිය යටතේ පැවතීමයි. කෙසේ නමුත් මා වසර හතක් උගත් බාලක පාසලින් මා ඉවත් කොට මිශ්‍ර පාසලකට ඇතුළත් කිරීමට අක්කා ද හේතුවක් වන්නට ඇතයි නොයෙක් වර මට සිතෙයි. මා කැන්ටිමට ගියත්, නො මනා මොනයම් දෙයක් කලත් පාසල් නීති රීති කුමන සුලු හෝ ආකාරයෙන් කඩ කලත් ඒවා ඇයට ආරංචි වනු නිසැක බව මම අත්දැකීමෙන් දනිමි. හවස බසයෙන් නිවස කරා යන අතරමග දී ආදරණීය අක්කාගෙන් ගැරට් ඇන්ගිමක මෙන් දුම් පිටවෙනු මා හට නුහුරු නුපුරුදු නොවේ!

දෙමාපියන් යනු කවුරුන්දැයි මට පැහැදිලි කිරීම මදක් අපහසු ය. ජීවිතයට කොතරම් ළං වුව ද ආදරය පෙන්වීම ඔවුන් අක්කාට වඩා මා වෙත යොමු වීම මා පවුලේ බාලයා වීම නිසා යැයි අක්කා කියයි. "ඕකි ඉරිසියාකාරි" එවිට මගේ හිත කියයි. කෙසේ වුවත් අක්කාත් මමත් පුරා ජීවිතයෙන් නිසැක ව ම එකඟ වූ එක ම දෙය නම් කිසි දිනක දෙමාපියන්ගේ සිත් නො රිදවීමට සිතා ගැනීමයි.

ඔව් , අපි ජීවත් වෙමු. තුන් වේල කෑමටත්, අව්වෙන් වැස්සෙන් බේරීමට හිසට ඉහළින් වහලයකුත්, විලි වසා ගැනීමට ඉස්ටැයිල් එකකුත් ඇති නම් මම තෘප්තිමත් පුද්ගලයෙක්මි. දෙමාපියන් ලබන ආදායම මේ තුනෙන් අමතරව වියදම් වූයේ මාගේ සහ ලබන වසරේ උසස් පෙළට සූදානම් වන අක්කාගේ පන්ති වලට හා ගුරු දේවතාවන්ට පූජා කිරීම සඳහා පමණක් බැවින් ඉතිරියක් ගැන සිතීම දෙමාපියන්ට ම බාර විය. 

මම දැනට සාමාන්‍ය පෙළ සඳහා සුදුසුකම් ලැබූවෙක්මි, තවත් මාස දෙකකින් [අ]සාමාන්‍ය පෙළ විභාගය සහ ප්‍රශ්න පත්‍ර මගේ අත උඩට එනු ඇත. කලින් මා උගත් බාලක පාසලේ එතරම් දඟකාරයකු ලෙස ප්‍රසිද්ධ නො වූව ද මිශ්‍ර පාසලක් වූ මා වත්මනෙහි උගන්නා පාසලේ ගුරුවරු පවා මා දෙස බැලුවේ වපරැසින් යැයි කීම නිවැරදි ය. 

"
බ්‍රයිටෙක් හින්ද මොකුත් නො කිව්වට මිනිහ මහ සෙල්ලක්කාරයා" 

ගුරුවරුන්ගේ බැල්ම අනුව මම සිතා ගත්තේ එසේ ය. මම වසර තුනක් මෙම පාසලේ ඉගනුම ලැබූයෙමි, මෙහි පැමිණි පළමු වාරයේ ම මාගේ ලකුණු තත්වය අන් අයට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පැවතීම පිළිබඳ ව ඉගැන්වූ ගුරුවරු, දෙමාපියන්, අක්කා මෙන් ම හුදෙක් මාද විස්මයට පත් වීම පුදුමයක් නොවේ. එම තත්වය එලෙස ම තබා ගැනීමට මම බොහෝ වෙහෙස වීමි. එහෙයින්මදෝ මාගේ ප්‍රචණ්ඩත්වයත්, දඟකාරකමත් යන්තමින් යටපත් වූ බව දැනුදු මාගේ හැඟීමයි.

 
පාසල් ජීවිතය ඉතාමත් සුන්දර වූයේ මම අධ්‍යාපන වසර 10ක් ම ඉක්මවූ පසු ය. තාරුණ්‍යයට අත වනන මෙම කාලය ඔබ අප කාගේත් සිත් පාසල් ජීවිතයේ සොඳුරු මතක වලින් පිරී ඉතිරී යන කාලයක් වූවා ට මම මගේ පරිගණකය වුව ද ඔට්ටු අල්ලමි. එසේ නො වීමට නො හැකි ය, ඔබ මිනිසකු නම්, ලස්සන දේ අගයන්නකු නම්, කෙටියෙන් මෙන් ම වඩා සුපුරුදු ලෙස කිව හොත් "කොල්ලෙක්/ කෙල්ලක්" නම් ඔබේ ජීවිතයේ වටිනා ම සහ සොඳුරු ම මතක සටහන් ඉතිරි වන්නේ පාසල සහ විශ්ව විද්‍යාලය මූලික කොට ගෙන ය. එහි දීත් මමත් මගේ යහළුවනුත් පාසල් ජීවිතය සෙල්ලමකට මෙන් ම වගකීමක් බව ද අමතක නො කිරීම මාගේ දෙමාපියන් ලද භාග්‍යයකි. 

ඇත්තෙන්ම අපි පාසල් වැඩ කළෙමු, සිනාසුණෙමු, දඟ කළෙමු, කෙල්ලන්ට විහිළු කළෙමු, වලි දා ගතිමු, ඇතැම් විට ගුටි කෑවෙමු, ගැහුවෙමු..... ප්‍රින්සිපල් මහතා පවා මා නමින් අමතන තරමට මා ගැන දැන ගත්තේ මෙවන් කරුණු නිසා යැයි මම අදටත් තරයේ විශ්වාස කරමි. පෙර දින වලියක් දා ගෙන කැන්ටිම අසල දණ ගසා ගෙන ඉන්නට නියම කල විදුහල්පති තුමා අතින් ම මම පසුවදා උදෑසන රැස්වීමේ දී ශ්‍රේණියේ වැඩි ම සාමාර්ථ ලැබූ වන් අතර දෙවැනි තැනට හිමි සහතික පත ලැබීමි. විදුහල්පති තුමා මා ළමයින්ගේ අත්පොළසන් හඬ මැද වේදිකාවට නගිනු දැක දෑස මහත් කොට ගත් අන්දම මට තවමත් අමතක කල නො හැකි ය, පසුව ඔහු ගුරුවරුන්ගෙන් මා ගැන බොහෝ දේ විමසූ බව ද මට පසුව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණි.

අහ්! පාසල ගැන කීව ද මාගේ මිතුරන් ගැන කීමට මට ඔබට අවස්ථාවක් නො ලැබිණි. මාගේ හොඳම මිතුරන් දෙදෙනෙක් සිටිය අතර ඔවුන් නමින් "විකියා" සහ "පපරේ" විය. සමාවන්න! "විමල්" සහ "ප්‍රසාද්" වූහ. මා කරන කොයි වැඩකට වුව ද නිරුත්සාහයෙන් පැමිණීම ඔවුන් සිරිත කොට ගත් අතර මම ද ඔවුන්ගේ මෙකී නොකී වැඩ කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමි. පන්තියේ අප තිදෙනා සඳහා උපකාර කිරීමට කෙල්ලන් කොල්ලන් භේදයක් නැතිව ඉදිරිපත් වූයේ අප ඔවුන් වෙත දක්වන ලද උපකාරයේ දෑත දිග වැඩි වීම නිසා යැයි මම සිතමි, කෙසේ වෙතත් මොවුන් ඇතුළු කොට සියලු ම පන්තිය මාගේ අතිජාත මිතුරන් වූහ.

ඔබට පැවසීමට අමතක වී ඇත්තේ තවත් එක කරුණක් ගැන පමණි, ඒ මා හට සිටි ළෙන්ගතුම මිතුරිය ගැන පමණි. මා එසේ කියන්නේ ඇයි දැයි මෙම කතාව ගලා යන අතරතුර ඔබට සක්සුදක් සේ පැහැදිලි වනු නො අනුමානය. මම ඇය මා කෙරෙහි දක්වන ආකල්ප සහ හැඟීම නොදනිතත්, මට වඩාත් ම ළං වූ කාන්තාවන් අතර තුන්වැනි තැන ඇය නිසැගින්ම හිමි කර ගත් බව මම නොබියව පවසමි. එයට කියන්නේ "ආදරය" කියා නොව "යහළු කම" කියා ය. වාසනාවකට මෙන් අප පාසලේ සියලු දෙනා එසේ සිතන්නට පුරුදු වීම මා හට අපමණ සැනසීමක් විය.  මගේ දුකේ දීත් සැපයේ දීත් මා අත නො හැර සිටියේ "පවුලේ උදවිය ලකියා, පපරේ සහ උත්පලා" පමණි.

ඔව්! ඇත්තෙන්ම ඇගේ නම "උත්පලා" විය. ඈ සඳහා කුමන හේතුවකින් එම නාමය දෙමාපියන් නිර්දේශ කරන්නට ඇති දැයි මම නො දනිමි. එහෙත් ඈ පවා ඒ ගැන නො දැනීම විසින් නමක අඩුපාඩු මග හැරී ගිය බව මම දනිමි. 

"
ඈ කවුරුන් වගේ ද?"

ඔබ අසනු ඇත. මා දෙන සරල ම පිළිතුර නම්

"
ඇය මගේ අම්මා වගේ"

යන්නයි. එම පිළිතුර සාධාරණීකරණය කිරීමට මම පසුබට වෙමි. ඒ ඇය සතු ව මගේ මවගේ මෙන් රූපයක් තිබීම ද නැතිනම් මව මෙන් ම හැම විට ම මා කරන කියන දෑ ගැන සෙවිල්ලෙන් පසු වීම දැයි මම තවම නො දනිමි. ඔබට යම් අදහසක් ඇති කර ගැනීම සඳහා මම කෙටි විස්තරයක් ඇය ගැන ඉදිරිපත් කරමි.

ඈ සුදු නැත, කලුත් නැත. එනම් ඇය ටිකක් දුඹුරු පාට ය. එම පාටට ව්‍යවහාරික නාමය මම නො දනිමි. එහෙත් ඇය ඒ පාට ය. මා ජීවිතයේ දැක ඇති දෙවැනි හැඟීම්බරව හදවත ද හිමි වූයේ ඇයට ය. ඇගේ ඇස් මදක් විශාල වූ අතර සප්‍රාණිකත්වයේ ලකුණු මෙන් නිරන්තරයෙන් දිලිසීම එම ඇස් වල විශේෂත්වයක් යැයි පිළිගනිමි. ඇය හරියටම මගේ උරහිස තෙක් උස් ය. මදක් කෙට්ටු යැයි පෙනුණ ද පාසල් සුදු ගවුමට ඇය ටිකක් මහත ට පෙනේ. එනම් ඇය මහත නැත, කෙට්ටුත් නැත. මදුයම ප්‍රමාණයේ විය යුතු ය. මීට අමතරව මා ඇයගෙන් දකින්නට වඩාත් ආසා කලේ ඇගේ සිනහව ය. ආත්මයේ ගීතය නම් සිනහව මා දකින හැටියට අවංකව ම පැමිණියේ ඈ වෙතින් පමණි. කම්මුල් වළ ගැසී ඇගේ මුළු මුහුණ ම සිනාසෙන ආකාරය මගේ මුවගට පවා සමහර විටක සිනහවක් නැංවීමට සමත් වෙයි.

කෙටියෙන් කීවොත් ඇය ලස්සන ය. පියකරු ය, හුරුබුහුටි ය. කෙසේ වෙතත් ඈ මගේ පෙම්වතිය නොව මගේ හොඳ ම යෙහෙළිය වූවා ය. අප තාමත් පාසල් යන්නෝ වෙමු, ආදරයක් ගැන සිතීම පසුව ට කල් තබා මම අධ්‍යාපන කෘත්‍යයෙහි නිරත වෙමි. විභාගයට මාස දෙක ය. ජීවිතය, ඔරලෝසුවේ තත්පර කටුව පවා තීරණාත්මක ය.

මගේ ජීවිතයේ රෑ දහවල් ගෙවේ, එහෙයින් මීළඟ කොටසින් මම ඔබට ඉතිරිය පවසන්නෙමි. මට දැනට යන්නට අවසර෴


------------------------------------------------------------
ඉතිරිය පසුවට..........
------------------------------------------------------------



------------------------------------------------------------

------------------------------------------------------------
------------------------------

0 comments:

Post a Comment