Sunday, January 19, 2014

"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද.. සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [6 කොටස]




පාසල් වාර විභාග ඇරඹීමට ප්‍රතම පවත්වන විශේශ දේශන මගහැරීම පිලිබදව මම කනගාටු නොවීමි. මන්දයත් එයින් ලැබෙන ඵලදායීත්වය ඉතා මද බැවිනි. අක්කාද, අම්මාද, තාත්තාද මෙසේම සිතීම නිසා මට සැලසුනු සෙත අපමණය. එහෙත් එදින නිවසට යන අතරේ මම උත්පලා ගැනද කල්පනා කලෙමි. ඈට යන්නට සිදු වනු ඇත, විකාරයකි. ඈ කැමති නැත. එහෙත් ඇගේ මව කැමතිය.  එය අසාදාරණය. කෙසේ වුවද අක්කාට මේ ගැන කියා ඈට කැමැති දේ කරන්නට අවස්තාව සලසා දීමට මට සිතුනි. කිමදැයි නොඅසන්න දයාබර පාඨකය, මම එසේ සිතුවෙමි!

මා නිවසට යන විටත් අක්කා පන්ති ගොස් නැවත් පැමිණ සිටියාය. උසස් පෙළ කලා විශයන් හැදෑරූ ඇයට එතරම් ද්ගු වේලාවක් පන්ති වල රැදී සිටීමට සිදු නොවිනි. ඒවා පැයක් ජෝක් කර අනිත් පැය නෝට් දෙන පන්තිය. අක්කා සාලයේ කකුල් දෙකත් පුටුවක් උඩ තබාගෙන සංගීත වැඩසටහනක් නරඹමින් සිටී. මම ඈට මා ආ බව කියා කාමරයට ගියෙමි. නාකියාගෙන, දහවලට කෑම කා අනතුරුව මම පාඩම් කලෙමි. අක්කා කතාවට අල්ලා ගැනීමට හොදම අවස්තාව උදාවන්නේ ඈට පේන්නට ටිකක් මහන්සිවී පාඩම් කල විට බව මම දනිමි. සුපුරුදු පරිදි අක්කා සවා හතරට පමණ කාමරයට එබිකම් කර,

"මල්ලී තේ හදන්නද?" යි ඇසුවාය.

"හාකෝ" මම කීවෙමි.

ඈ යලිත් ආවේ සුපුරුදු බිස්කට් ටින් එකත් මගේ තේ එකත් රැගෙනය. 

"ආ මේං"

"ඔන්න ඔහෙන් තියන්ඩකො"

"බීල ඉන්නව මේක, නිවිල තියෙන්නෙ හොදටම"

"අක්ක බිව්වද?"

"හ්ම්ම්ම්"

"මේ"

"ඔව්?"

"ප්‍රශ්නයක්"

"මොකක්ද? ඈ? ගනන් ටික හදල ඕනද? නෝට් එකක් ලියල ඕනද? පුහ්! හිතේ ඇති කොරගන්ඩ"

"නෑ එහෙම එකක් නෙවී"

"එහෙනම්? කසාද බදින්න ඕනද?"

"නෑ බං"

"එහෙනම්"

"උත්පලා......."

"අහා! උත්පලා..... ඇයි ඒකි බැන්නද? ගැහුවද? නැතනම්...?"

"නෑ නෑ... එයා අක්කට කියන්න කිව්ව"

"මොකක්ද?"

"එයාට සෙමිනාස් වලට ය්න්න බැරිලු අක්කේ" මා පැවසුවේ පුංචි දුක්බර මූනක් මවාගෙනය. අක්කා මා දෙස බලා සිනහ වූවාය.

"ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ?"

"මේකයි, ඔයා කියන්න ඕන උත්පලාගෙ අම්මට ඔය සෙමිනාස් වලින් වැඩක් නෑ කියල"

"එතකොට?"

"උත්පලා කීව එයා ඒ දවස් ටිකේ මේ පැත්තෙ එනව කියල, ඔයාගෙන් මොනවද අහගන්ඩ තියෙයි කීවෙ"

"අහ්! පව් නේද මල්ලියේ?"

අක්කා කීවේ අමුතු මුහුණක් මවා ගෙනය. මට ඇල්ලුවේ නැති එම බැල්ම මොකක්දෝ පුංචි සැකයක පෙරනිමිත්තක්දැයි මට සිතුනි.

"ඔව් ඔව්! ඔන්න එයා කියන්ඩ කීව. මම කිව්ව. එච්චරයි ඈ"

"මේ"

"ඇයි?"

"කියනව මට, ඒ කෙල්ල මෙහෙ එනවට ඔයා ඇයි ඔච්චර කැමති?"

මම උඩ ගියෙමි. හෑ!!!!!

"නෑ අක්කෙ! මගෙ කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ. අනික එයා මගෙ යාලුවා. අක්කගෙත්. නෙහ්? ඉතින් එයාට මෙහෙ එන්න අයිතියක් තියෙනවනේ"

"නෑ තාම නම් එයා එන්නෙ අයිතියක් නැතුව. අනේ මන්ද........ සමහර විට අයිතිකාරියක් වෙන්ඩත් ඉඩ තියෙයි"

කියූ අක්කා ඔච්චම් සිනහවක් පා තේ කෝප්පයද රැගෙන පැන දිව්වාය

මම ඈ සොයා නොගියෙමි. අක්ක කිව් ඇනුම්පදය මට තේරුනේ විනාඩි ගනනක් ගතවූ පසුය. උත්පලා සහ මම වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම හොද යහලුවන් වීමු. එකිනෙකාගේ දුකේදී සැපේදී ලගින් සිටීම හැරුණු කොට වෙනත් කිසිවක් අප කර නැත. අක්කා මෙය තේරුම් ගත් ආකාරය මටද අවබෝද නොවේ...... ඕන වස්තරයක් කියා මම පාඩම් කරමි.....

එදින අක්කා නැවත් මට හමු වූයේ සවසය. මම ඇගෙන් මොකක්දෝ රසාස්වාද පාඩමක් අහගනිමින් සිටියෙමි. නිවසේ බෙල් එක වැදුනි. ඒ අම්මා හෝ තාත්තා වන්නට බැරිය. මන්ද ඔවුන්ගේ ආගමනයට තවර්හ් හෝරාවකටත් වඩා කාලයක් තිබේ. 

"මල්ලි බලනවකො ක්ව්ද කියල"

මම ඉදිරිපස දොර විවර කලෙමි. ඔබට සිතාගත හැකිද? එහි වූයේ උත්පලාය.

"දසිත්"

"ඒයි! මොකෝ මේ හවස් වෙලා මේ පැත්තෙ?"

"ශුහ්! අහන්නෙ මොකෝ අයිතියක් තියෙන්වනේ එන්න:"

මළා! මේකිත් මට චාටර් කරනවනේ. මා අක්කාට කිසිත් නොකිවානම් හොදය. අනුමානයක් නැත අක්කා උත්පලාට කෝල් කර ඇත.

"හා හා එනවකො ඇතුලට, මැට්ටි"

"කෝ දසිත් අක්ක, එයා මට කිව්ව එන්න කියල මොකක්ද සිංහල පේපර් එකක් දෙන්න කියල. අපේ අම්මත් දැන් ඒවි මෙහෙ මාව එක්ක යන්න. මම අම්මට කිව්ව වැඩ ඇර්ල එනගමන් මාව එක්ක යන්න කියල මෙහෙන්"

"අර ඉන්නෙ අක්කනම්"

අක්කා කොතරම් කපටිද? එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. මාවත් චාටර් කර, මගේ කලිසම පා කර හැර, අනතුරුව ඈ විසින්ම උත්පලා ඉල්වූ උදව්ව ඉටු කරන්නට යයි. 

මම අක්කා වෙත නැවත ගියමි. අක්කා උත්පලා අතට ප්‍රශන පත්‍රයක් දී, මා දෙස බලා කුප්ප හිනාව පා අනතුරුව මට පාඩම නැවැත්වූ තැන සිට නැවත ඇරඹුවාය. මගේ සිත තිබූයේ පාඩම තුල නම් නොවේ. අක්කා මීලගට කරන්නට යන දේ පිළිබදවය!!!!


---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.............

---------------------------------------------------------------------------------


"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [5 කොටස]



එදින සුපුරුදු සදුදා දිනයකි, පාසල් නිවාඩුව අවසන් වී සතියකුත් ඉක්ම යාමට පෙර සාමාන්ය පෙළ සදහා විශේශ ඇගයීම් පැවැත්වීමටත්, විශේශ දේශන කීපයකට සහබාගී වීමටත් අපට සිදු වන බව පන්ති බාර ගුරුවරයා දැනුම් දුන්නේය. ඉදිරි පෙළ අපමණ අමන්දනන්දයටත් පසු පෙළ තවත් හොද නින්දක් පිලිබද සිහිනයක ගල්වාලූ ඒ කතාව මාද අසා සිටියේ අලස බවිනි. මන්ද අක්කා විසින් කියා ඇති තොරතුරු වලට අනුව අප පාසල මෙහෙයවන මෙම දේශන වලට වඩා ගෙදරට වී පාඩම් කිරීම වටිනා බව මතක් වීමෙනි. ගුරුවරයා පිටව ගියද මීලග කාලච්චේදයට කිසිවකු නොපැමිණීම නිසා බොහෝ දෙනා පන්තියෙන් පිටත්ව ගොස් තිබුනි. මම සමග උන් මිතුරන් දෙදෙනාද "ගෙදර" නොහොත් කැම්ටිම බලා පිටත් උවද මොකක්දෝ විශයක අනිවාර්ය ගෙදර වැඩ වගයක් කිරීම සදහා මම නැවතුනෙමි.  පන්තිය පාලුය එහෙත් ඉදිරි පෙළ වළ නොබහින් උන් නම් සිටී. උන්ගෙන් වැඩක් නැත. සාමාන්ය පෙළට තව මාසයකි. වැඩ කල යුතුය. නැතහොත් මුට්ට කර ගැහිය යුතුය. මම උත්පලා දෙස බැලීමි. ඈ පන්තියේ නැත. කොහේ හෝ ගොසිනි. මම පයිතරගස්ගේ කුනුහරුප ප්‍රමේයක ගනනක් තුලට එබුනෙමි. 

විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත. විවේක කාලය එළබෙන්නේ මෙම කාලච්චේදයෙන් පසුවය. මම වටපිට බැලීමි. උත්පලා මා දෙසට පැමිණියාය. ඈ කිසිදු බියක් සැකක් නොදක්වා මා ඉදිරියෙන්ම වාඩි වූවාය. "හරියට අයිතිකාරි වගේ" මම ආඩම්බර වීමි.

"දසිත්"

"ඕ"

"ආ"

"හ්ම්ම්ම් මොනාද?"

"අත අල්ලනවකෝ පැහෙන්නෙ නැතිව"

මම අතක් ඈ දෙස දිගු කලෙමි. 

"ආ කනවා"

මම ඈ මා අත තැබූ කිරිටොපිය කටේ දා ගතිමි.

"කෝ?"

"මොනාද?"

"ස්තූති කිරීම"

"අහා! තෑන්ක් යූ වේවා ලමයා"

ඈ සිනහ වූවාය. කොහෙන්දෝ පිපුණු මලක් මෙනි. ඈ ඒ තරමට ලස්සනය. කොහෙන් හෝ බඹරෙකු පියාඹා ආවොත්? අනේ පව්!

"මොනාද හලෝ කරන්නෙ?"

"ගාණක් හදනවා"

"ඒක මට පේනව මැට්ටෝ"

"එහෙනම් ඇහුවේ"

"නිකම්"

"කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?"

"නෑනෙ අනේ, මේ ඒක නෙවී නැද්ද ෆිල්ම් එකක්වත්"

"මොන ෆිල්ම්ද හලෝ මේ විබාග කාලේ, මට අක්ක ටීවී බලන්නවත් දෙන්නෙ නෑ"

"පව්"

"නැතුව"

ඈ නිහඩ වූවාය. ඒ සිනාවක් මුවග රදවාගෙනය. මන්දැයි මම නොදනිමි. මා ඉදිරියෙන් ඉදන් ඈ ඈත බලා සිටී. 

"මේ අර සර් කීව සෙමිනාස් වලට ඔයා එනවද?"

"නෑ"

"ඇයි?"

"අක්ක මට කීව ඒව එච්චර වැඩකට ඇති ඒව නෙවී කියල. ගෙදරට වෙලා පාඩම් කරන්නලු. ඒක හොදයිලු ඊට වඩා. මටත් හිතෙනව ඒක ඇත්ත කියල"

"හ්ම්ම්ම් ඔව් දසිත්! ශික්! ඔයාලයි අක්කට කියල මම අපේ අම්මටත් ඔන්න ඔය ටික කියවාඅගන්න ඕන. මට පුලුවන් අක්කගෙන් වැඩ ටිකක් අහ ගන්න"

"අපේ ගෙදර ඇවිත්?"

"නැතුව? ඇයි අකමැතිද?"

"අපෝ නෑ එන්න එන්න"

කාලච්චේද අවසාන වූ බවට බෙල් එක වදිනු ඇසුණි. කඩිමුඩියේ බෑගයට අත දමා කෑම එක සෙව්වද එය අතුරුදන්ය! නෑ! මල කෙලියයි! එය ගෙදර සලේ මේසය උඩ බව මට සිහිවූයේ දැන්ය! අක්කාද මොකක්ඩෝ රිවිශන් ක්ලාස් එකට ගිය නිසා අම්මාට එය එවන්නට කෙනෙක්ද නැත! "ඔන්න ඔහේ බඩගින්නෙ ඉන්නව" මම සිතුවෙමි.

"ඇයි දසිත්? මොකක්ද හොයන්නෙ?"

උත්පලා ඇසුවාය. ඇය තාමත් නැගිට නැත.

"නෑ කෑම එක දාල ඇවිත්! කැන්ටිමට වත් යනව"

"අනේ! ඉතින් එනව මගෙ බත් එකෙන් කමු"

"අයියෝ ඕන නෑ උත්පලා, ඔයා කන්න! මම කැන්ටින් යනවා"

"මෙන්න මෙහෙ එනවා" 

ඈ මගෙ කමිස අතින් අල්ලා ඇද්දාය.

"මොකෝ මගෙ බත් රහ නැද්ද? කෑවම ඇග කසනවද?"

"නෑ එහෙම එකක් හිතන් නෙවී කිව්වෙ!"

"එනවා එනවා" ඈ කීවේ ඇගේ බත් පාර්සලය දිගහරිමිනි. 

"නිශා...... ඒයි එනව කන්න" අනතුරුව ඈ තවත් කෙල්ලකට අඩගැසුවාය.

"මන් යනෝ ලමයෝ!"

"දසිත් ඉන්න.... ඔන්න එහෙනම් මම කන්නෙත් නෑ"

"හයියෝ!"

"කවන්නද?"

"එපා එපා! මට විසුමක් නැතිවේවි"

"එහෙනම් ගොනා වගේ ඉන්නෙ නැතුව කනවා"

මම බත් පිඩක් කටේදමාගතිමි. අවුලක් නැත.
දෙවැන්න. හොදය. 
තුන්වැන්න. නියමය!
සතරවැන්න. පංකාදුය!
පස්වැන්න... "තරු පහේ කෑම වගේය"
සයවැන්න. "සූ අම්මෝ දනවෝ!!!!!"

"හත් ඉලව්වයි! දසිත් කෑව නේද මිරිස් කරලම" 

උත්පලාගේ මිතුරිය වූ නිශාදිනී පැවසුවේ ඇස් ලොකු කරගනිමිනි. උත්පලා වචනයකුදු නොදොඩා ඇගේ වත්‍ර බෝතලය හැර මට දුන්නාය. 

"සූ සූ සූ...... හයියෝ කව්ද අප්පා ඉව්වේ අද?" 

මම ඇසීමි. මට දාඩිය දමා කමිසයත් ඇගට ඇලුනි. උත්පලා සිනහ වූවාය. 

"අනේ සොරි දසිත් මමයි ඉව්වෙ"

ඈ! ??????? "මාර රහයිනෙ. හැමදාම උනත් කතහැකි" මම මටම සිතාගතිමි.

"මීට පස්සෙවත් මිරිස් කරල් දාන් නැතිව උයනවා"

මම කීවෙමි. උත්පලාත්, නිශාදිත් සිනහ වූහ.

"මිරිස් නොදා කෝමද කොල්ලෝ කෑම උයන්නෙ?"

නිශාදි ඇසුවාය.

"කන කෙනා දැන ගන්න ඕන අවදානයෑන් කන්න"

එසේ කීවේ උත්පලාය.

"ඔව් හැබැයි" මම පැරදුනෙමි. 

සිකේ! අපෙ අක්කට තියා අම්මටවත් බෑ මෙච්චර රහට කන්න උයන්න. මට සිතුනි. එය ඇත්තය. අම්මා කෙසේවෙතත් අක්කා නම් උයන්නේ මෙලෝ රහක් නැතිවය, මමත් තාත්තාත් අක්කා උයට දිනවල කන්නේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. දිනක් අක්කා කිරි හොදි ලිපේ තියා තිබුනේ පොල් කිරිද නොදමා බව මට සිහි විය.

"අනේ පව් ඕයි! බලනවා දසිත් රතුපාට වෙනෝ"

උත්පලා සිනහ වූයේ නිශා කිව් දේටය. ඔව්! ඉහින් කණින් දාඅඩිය බේරුනු බව මටද තේරුනි. කමක් නෑ! අදවත් ඇති බත් කටවල් තුන හතරක්වත් රහට කෑව! බඩ නැතත් සිත පිරී ඇත.
---------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට......................

---------------------------------------------------------------------------------


සමාවෙන්ඩ ඕන! ටිකක් පරක්කු උනා මේ පාර කතාව දාන්ඩ. තාක්ශනික වගේ ම සමාජීය ගැටලු ගොඩාක් ආව. ඒකයි. 



ලියන මම -

---------------------------------------------------------------------------------

"මට හොරෙන් ක්ලාස් එකේ කෙල්ලො දිහා බලන්ඩ මෙයාට බෑ" - උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [4 කොටස]



මම නිවසට යන විටත් දෙමාපියන් නිවසට පැමිණ නැත. අක්කා මා එන තුරු මග බලා සිටියේ මට ඇති ආදරයක් නිස නොව ඈ ගේන්නට කියූ ෆෝන් කාඩ් එක ගන්නටය. අක්කා ගෙතුලට යන්නට පෙර මම ඈ නවත්වා ගත්තෙමි,

"අක්කේ පොඩ්ඩක් ඉන්නකො"

"ඇයි මල්ලි?" 
අක්කා මා දෙස හැරී බලා විමසුවාය. ඇගේ මුහුණේ විස්මය රැදී ඇත. මා මොකක් හෝ බරපතල දෙයක් අසන්නට යන බව ඈට ඉවෙන් මෙන් තේරුම් යන්නට ඇත.

"එනවකෝ,,, ම්පොඩ්ඩක් වාඩි වෙනවකෝ"

"ඔන්න" ඈ මා සමග සාලයේ පඩියේ  වාඩි වූවාය. 

"මොකෝ?"

"මේ උත්පලාගෙ තාත්ත නැති වෙලාද?"

අක්කා මා දෙස බැලුවේ ඇත්තෙන්ම පුදුම වීය.

"ඔව් මල්ලි, ඔයා කෝමද දන්නෙ?"

"එයා මට කිව්ව"

"පව්! ඊයෙලුනේ දානෙ තිබ්බෙත්"

"මූන බැලුවම මට තේරුනා මොකක් හරි අවුලක් විත්තිය"

"මේ"

"ඔව්?"

"තව මම නොදන්න කොච්චර දේවල් උත්පලා ගාව තියෙනවද?"


"කොච්චර තිබ්බත් මොකෝ?" අක්කා ඔච්චම් සිනාවක් පෑවාය.

"නෑ ඉතින් නිකමට ඇහුවෙ"

"ප්ව් මල්ලි.... බලනවා ඒකි එක්ක බැලුවම අපි කොච්චර වාසනාවන්තයිද?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"එයැයිගෙ අම්මයි එයයි විතරයි ඉන්නෙ! අම්මා නම් කොහේදෝ මන්ද රස්සාවක් කරනවා! ඉස්සර කලේ නැතිලු. අපේ අම්මයි එයාට ඒ ජොබ් එක හොයා දුන්නෙ...... ජොබක් නොකලත් ජීවත් වෙන්නා තරම් ආදායමක් එනවලු. උන්ගෙ දේපොල එහෙම තියෙයිලුනේ"

"ඉතින්?"

"ඉතින් එහෙම තමා................ මේ මන් යනව කුස්සියට. තමුසෙත් ඔය කුණු ගොඩවල් අවුස්සන්නෙ නැතිව ගිහින් පොතක් බලා ගන්නවා"

අක්කා මා ලගින් නැගිට ගෙතුලට ගියය.

මම එතැනටම වී කල්පනා කලෙමි. "උත්පලා" වෙනදා නැති මොකක්දෝ අමුතු දුකකින් මගේ හිත බර වී ඇති බව පෙනේ. මට කුමක් වී ඇතිද? 

**************************

පාසල් නිවාඩුව තවත් සති ගණනකි. කාලය පියාඹා යයි. ඒ අස්සේ ගණන් පන්තියේ "සර්" තුමා විශේශ ප්‍රශන පත්‍ර පන්තියක් දමා අප හැමෝටම ඒ සදහා පැමිණෙන මෙන් නියෝග කරන ලදී. උදෑසනම පැවති එම පන්තියෙන් වැඩි ඵලදාවක් නෙළාගත් හැකි බව සර් ගේ අදහස විය.

මමද නිදිමතේම නැගිට දත් මැද හැද පැලද ලක ලෑස්ති වීමි. උත්පලා අප නිවසට පැමිණි දින සිට දින තුනක් ඉක්ම ගිය මේ දිනයේ අක්කාද ඇගේ උපකාර්ක පන්ති සදහා යාමට සූදානම් වූවාය. මම අක්කාත් සමග නිවසින් පිටවීමි.

වෙලාව උදෑසන අටහමාරය. පන්ති පටන් ගන්නේ නවයටය. අක්කාගේ පන්තිය නවයහමාරටය. අපි හෙමින් හෙමින් පාර දිගේ පියමැන්නෙමු. කාන්ති නැන්දලාගේ ගෙදර දොර වැසෙන හඩක් ඇසුණි. අක්කත් මමත් ඒ දෙස බැලුවෙමූ. 

ඔව්! ඒ උත්පලා විය. තම මව රාජකාරී සදහා පිටත්ව ගොස් ඇත්තේ දුවණිය තනිකර දමාය. ඈ තනියම හැද පැලද තනියම පන්ති යාමට සූදානම් වී ඇත. අක්කාත් මමත් පාරේ යනු දැක ඇය අත වනා කෑ ගැසුවාය.

"ලක්ශිකා අක්කේ.... පොඩ්ඩක් ඉන්නෝ මමත් එනෝ"

අක්කාත් මමත් නැවතුණෙමි. උතපලා මා ඉදිරියට පැමිණියාය.

ගුඩ් මෝනින් අක්කේ, ගුඩ් මෝනින් දසිත්"

"හ්ම්ම් හ්ම්ම් ගුඩ් මෝනින්"

මම පැවසීමි. ඈ වෙනදාටත් වඩා ලස්සනය. අවංකවම ඒ ඇගේ හැටිය. ඩෙනිම් සායක් ඇද සිටි ඇය එවැනිම ලා නිල් පැහැ ඇදුමක් හැද සිටියාය. 

ගොඩ් මෝනින් නංගී. කොහෙද ක්ලාස් අද?"

"අපෝ අර ගණන් ක්ලාස් එක අක්කේ, එපා වෙනවා"

ඈ මුහුණ සාදා ගත් ආකාරයට මට සිනා පහළ විය.

"කොයි? අපේ මල්ලි යන එක?"

"නැතුව"

"අපෝ ඒ සර් මරුනෙ නංගී"

"නෑ! ඒ මනුස්සය පන්තියෙ ඉන්න කෙල්ලො දිහා බලන් ඉන්නව මිසක් හරි උගැන්නිල්ලක් නෑ. මම මේ යන්නෙත් අද පෙපර් ක්ලාස් එක හන්ද"

"එහෙමද?"

"නැතුව, කියනවකො දසිත් අක්කට"

"මට නං කිසිම අවුලක් නෑ" මම කීවෙමි.

"ඒ සර් හොදයිනෙ"

"අපෝ අගේ ඇති අක්කයි මල්ලියි"

උත්පලා සිනහ වූවාය. 

"නගා ආයෙම ඒ පැත්තෙ එන්නෙ කවද්ද? මේ ගෙදර තනියෙන් ඉන්න එකේ නරකද ඒ පැත්තෙ ආවම?"

"ඔව් අක්කේ මටත් එහෙම හිතුන"

"ඒකනෙ ලමයා, මහ දවාලෙ උනත් කෙල්ලෙක්ව තනියෙන් තියන්න බෑ මේ කාලෙ"  

මම කීවෙමි. අක්කා සිනහ වූවාය.

"උත්පලාගෙ අම්මටවත් නැති අමාරුවක්නෙ යකෝ මූට හැදිල තියෙන්නෙ"

උත්පලා මා දෙස බලා සිනහ වූවාය.

"එහෙම තමා අක්කේ.... හොද යාලුවො උනාම"

මම කීවෙමි. උත්පලා නිහඩය.

"අහා! එහෙමත් එකක්ද?"

"නැතිනම්"

"පුහ්! අපි ගැන එහෙමත් ඔහොම හොයා බලනවකෝ"

"මොනා බලන්ඩද? තමුසෙව ඉතින් හොරෙක්වත් උස්සන් යන එකක්යැ"

"මැට්ටා"

"මැට්ටි"

"හා හ නවත්තනව දෙන්නම ඕක"

උත්පලා සිනහවෙන්ම කීවාය. 

"දසිත් කිව්වෙ ඇත්තනෙ අක්කේ, තනියෙන් ඉන්න එපා කියල අම්මත් මට කීව. ඒත් මමයි ගෙදර නැවතුනේ....... හෙට ඉදල මම එන්නම්කෝ"

"බුදු අම්මේ.................."

අක්කා කම්මුලේ අත තියා ගත්තාය.

"මේකිත් දැන් මල්ලිට සපෝට් නේද?"

"ඔව් ඔව් එයා මට සපෝට් තමා... ඇයි අවුල්ද?"

"අනේ නෑ" අක්කා ඇසක් වසා ඉගි මැරුවාය. 

"කිසිම අවුලක් නෑ"

"අක්කේ......" 

උත්පලාත් මමත් පැවසුවේ එකවිටමය. දෙදෙනාගේම හඩවල් වල තරහව මුසු ලැජ්ජාවක් ගෑවී තිබුනා වගේ මතකය.
අක්කා සිනහ වූවාය.

"නංගියේ මේකා කෙල්ලෙක් දිහා එහෙම ඇහැක් ඇරලා බැලුවොත් මට කියන්ඩ ඕනේ හොදේ"

"නැතුව නැතුව" උත්පලා කීවය.

"එව්ව කොහෙද" මම කීවෙමි.

"මට හොරෙන් ක්ලාස් එකේ කෙල්ලො දිහා බලන්ඩ මෙයාට බෑ අක්කේ"

"මම බලල පෙන්නන්ඩද?"

"බැලුව ගමන් අක්කට කෝල් එකක් දෙනවා"

"අන්න! අන්න නංගිලා" අක්කා කීවාය.

"කමක් නෑ! කමක් නෑ! කැමති දෙයක් කර ගන්න.... ඉන්නවකෝ අක්කගෙ හොර වැඩත් මන් ඉක්මනටම හොයා ගන්ඩ"

"උඹ හොයා ගනියි මගෙ වලිගෙ"

මමත් උත්පලාත් සිනහ වූයෙමු. එහෙත් ඉදිරියට ගණන් ක්ලාස් එකේදී සිදුවන්නට යන දේවල් පිළිබද අප දෙදෙනාටම කිසිම වැටහීමක් නොතිබුණි.



---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට........................

ලියන මම 

---------------------------------------------------------------------------------

ලියන මම -


------------------------------------------------------------------------------------------------------------

"ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි" - :::උත්පලා::: - :::ඇය ආදරයේ දෙවගන වූවාය::: [තෙවන කොටස]




ඇත්තය! අක්කා කියූ දිනයට ඈ අප නිවසට පැමිණියා ය. එහෙත් තනිව නොවේ. ඇගේ මව , නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවා ය.

"
බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ"
ඇගේ අම්මා කීවේ අක්කාටයි.

"
ගණන් එහෙම පාඩම් කරන්න පුළුවන් ? ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලවත්"

කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවා ය. ඇය කුමක් කීව ද උත්පලා ගණන්කාරියක් බව මම හොඳින් ම දැන සිටියෙමි. මටත් සමහර වෙලාවන්හි ඈ ගණන් කියා දීමට ඉදිරිපත් වූවා ය. එහෙත් මම ඒ බවක් කියන්නට නො ගියෙමි. ගෙදර සිටියේ අක්කාත් මමත් පමණි. අම්මාත් තාත්තාත් රැකියාව සඳහා පිටත් ව ගොස් ය. අක්කා පමණක් ඔවුන් සමග කතා කිරීම හොඳ නැති යැයි සිතූ මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. උත්පලාත්, ඇගේ අම්මාත් මා දෙස බලා සිනාසුනහ. මම ද පොඩි සිනහවක් පෑවෙමි.

"
පුතාත් අපේ දූගෙ වයසෙ නේද?"

"
ඔව් නැන්දේ"

"
දෙන්නට එකට පාඩම් වැඩ එහෙම කරන්න බැරි ය?"

ඇගේ අම්මා කොතරම් මෝඩ ද? නො දන්න කොල්ලන් විශ්වාස කිරීම හොඳ නැත. මම පිළිතුරු නො දුන්නෙමි. ඒ වෙනුවට සිනහවක් දමා උත්පලා දෙස බැලීමි. ඈ පෙර දින රාත්‍රියේ නිදි මැරූ බවට සලකුණු තවමත් ඉතිරිව තිබුනි. ඈ පාඩම් කරන්නට ඇත.

"පව්"

උත්පලා නිවසේ රඳවා කාන්ති නැන්දා නගරයට යන බව පවසා පිටත් ව ගියා ය. අක්කා ඇයත් සමග මේසයට වාඩි වී කුමක් දෝ විස්තර කරන්නට වූවා ය.

**********

කෙසේ වුවත් අක්කා ඈ දන්නා සියලු ශිල්ප උත්පලාට උගන්නා ඈ පිටත් කරන්නට යන විට බිම් කලුවර වැටෙමින් තිබුණි. මම සාලයේ සෝපාවේ හොඳ නින්දක සිටියෙමි. අක්කා පැමිණ මා නැගිට්ටෙව්වා ය. මොකක් දෝ කරුමයකට හැම කුණු ගොඩ ම බේරුවල් බොක්කට ගලනවාක් මෙන් තවත් භාර දූර රාජකාරියක් අක්කා මට පැවරුවා ය.

"
මේ බං උත්පලා නංගිව ගෙදෙට්ට ඇරලල වරෙන්කො"

"
අනේ අක්කෙ? ඇයි අක්ක යන්ඩකෝ?"

"
මම ගියා ම කව් ද ගොනෝ රෑට කන්ඩ උයන්නෙ? අම්ම එන කොට රෑ වෙයි කිව්ව"

"
අනේ නිදිමතයිනෙ"

"
පව් යකෝ ඒ කෙල්ල! තනියම යන්නම් කිව්ව. ඒත් මේ කලුවර වැටිච්ච වෙලාවෙ තනියෙන් ඒකිව යවන්න බෑ නෙ මල්ලි. ඉතින් ටක් ගාල ගිහින් එනවකො! වැඩි දුරක් නෑ"

"
හා හා එහෙනම්" මම පැවසීමි.

"
හොඳ කොල්ලා, මේ එන ගමන් කඩේට ගිහින් පනහේ ඩයලොග් කාඩ් එහෙකුත් ගෙනෙන් සුදු මල්ලියේ" අක්කා කීවේ රුපියල් පනහක් මා අත තබා ය. මම කාමරයට ගොස් අවුලක් නැති ඇදුමක් දා ගෙන පිටතට පැමිණියෙමි. උත්පලා අක්කාත් සමග සාලයේ බලා සිටියා ය. අනතුරුව මම ඈ සමග පාරට බැස්සෙමි.

මා මොහොතක් නිහඬව ගමන් කලත් උත්පලාට නම් එසේ කරන්නට නො හැකි ය. මම ඒ බව දනිමි. ඈ කියවනවා වැඩිය, නරකක් නොවේ, කියවන කෙල්ලන් ලඟ පාළුව නැත.
එහෙත් අද ඈ නිහඬ ය. බිම බලා ගෙන පොත් ටිකත් තුරුලු කරන් ඔහේ ගමන් කරයි. මම ඈ දෙස බැලුවෙමි. වෙන දා ඇති සිනහව ඈ කෙරෙන් ඉවත් ව ඇත. මුහුණ වෙනදාට නැති අමුතු මලානික පාටකින් වැසී ඇත. බොහෝ වෙලාවක් හැඬූ අයකුගේ මෙන් ඇස් දෙක මදක් රතු ය.

"
ඒයි, මොකෝ?"

"
ඇයි දසිත්?"

"
නෑ! මොකක්ද ප්‍රශ්නෙ?"

"
මට? අනේ නෑ දසිත්! කිසිම ප්‍රශ්නයක් නෑ"

ඈ බිම බලා ගෙන ම උත්තර දුන්නා ය.

"
නෑ උත්පලා, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව! මට ඒක ඔයාගෙ මූණෙන්ම පේනව"

හ්ම්ම්ම්ම්! ඔව්! මා ඈ නමින් ඇමතූ ප්‍රථම අවස්ථාව එය විය. මම කොතරම් මිතුරු වුවද මින් පෙර කිසි දිනක ඈ නමින් ඇමතුවේ නැත. ඈට "කාඩ්" එකෙන් ඇමතීමි. [එය පැවසීම සුදුසු නොවේ]

ඈ මා දෙස තත්පර කීපයක් බලා සිටියා ය. ගමන් වේගය අඩු කලා ය. ඈ කුමක් දෝ සිතේ සඟව ගෙන දුක් වන බව මට වැටහුනි.

"
කියන්න ලමයෝ, ඔච්චරම හංගන්නෙ ඇයි? ප්‍රශ්නයක් නම්  මම උදව් කරන්නම්"

"
නෑ දසිත්, ඔයාට බෑ!"

මතක තබා ගන්න. තමන් කැමති කෙල්ලක් තමන්ට යමක් කල නො හැකි බව පැවසීම ඔබේ සිතට එල්ල කරන දරුණු පොලු පහරකි.

"
කියල ඉන්නවකෝ බැරි පුළුවන් කම කියන්න"

"
ඔය ඔයාට තරහ ගිහින්"

"
හ්ම්ම්ම් ටිකක් විතර"

"
නෑ දසිත්! ඔයාට තියා කිසි කෙනෙක්ට බෑ ඒ ප්‍රශ්නෙදි මට උදව් කරන්න"

"
ඇයි ඒ?"

"
දන්නවද ඊයෙ දිනේ කවද්ද කියල?"

"
නෑ? විසි හතරද කොහෙද? ඇයි?"

"
ඊයෙ තමයි තාත්තගෙ අවුරුදු දෙකේ දානෙ"

"
හෑ?"

මම පසුතැවිලි වීමි. ඇගේ පියාගේ දානේ? ඔහු මිය ගොසින්ද?

"
ඔව් දසිත්, කාටවත් මේක කියන්න එපා, මම ඔයාව අන්ශුවර් කරනවා නෙවෙයි ඒත් ප්‍රොමිස් වෙන්න"

"
අනිවාර්යෙන්! සොරි උත්පලා! මම ඒ බවක් දැනන් හිටියෙ නෑ"

"
ඔව්, අපි මෙහෙ පදිංචියට එන්න අවුරුද්දකට කලිනුයි තාත්ත නැති වුනේ, මට ඊයෙ එයාව ගොඩක් මතක් උනා දසිත්!"

මම ඈ දෙස බැලීමි, ඇගේ අහිංසක දෙනෙත් අග තවත් කඳුලු බිඳුවක් නැග ඇත.

"
මම ගොඩක් අඬන්න ඇති තනියම කාමරේට වෙලා! අම්ම කැමති නෑ මම දුක් වෙනව බලන් ඉන්න, ඒත් තාත්ත එක්ක ඉඳපු අතිතෙ මට අමතක වෙන්නෙ නෑ, සමහර විට අම්ම මම අඬනව දකින්න ඇති, ඒකයි මාව ඔයාලගෙ දිහා එව්වෙ"

"
උත්පලා"

මම පැවසීමි.

"
ඔයා දුක් වෙන්න එපා, ඔයා තනි වෙලා නෑ නෙ! ම්ම්ම්ම්ම් මම, අක්කා, අපේ අම්මල තාත්තල, ඔයාගෙ අම්මා, ඉස්කෝලෙ අය........ මේ හැමෝම ඔයත් එක්ක ඉන්නව හැමදාම"

"
තෑන්ක්ස් දසිත්, ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි"

ඈ කීවේ පාරේ ඈත බලාගෙනය.

"
නෑ අපි ඉන්නව හැම දාම ඔයත් එක්කම! ආයෙමත් කවදාහරි දුකක් දැනුනොත් අපේ ගෙදර දොර ඇරල තියෙන්නේ! ඕන වෙලාවක අක්කත් මමත් ඉන්නව ඔයාගෙ දුක අහන්න"

ඈ යන්තමින් සිනහ වූවා ය. අත් ලේන්සුව ගෙන ඇස් දෙක පිස දා ගත්තා ය.

"
දැන් වත් හිනා වෙලා ඉන්නවා, ඔයා දුකින් ඉන්න කොට මතත් නිකම් ඇඬෙන්න වගේ"

"
? ඒ මොකටද ඔයා දුක් වෙන්නේ?"

මම නිරුත්තර වූයෙමි.

"
යාළුකමට"

ඈ සිනහ වූවා ය! දුක්බර සිනහවක් වූව ද ඈ තුල පැවති ලස්සන ඒ තුලින් නොමදව විදහා දැක්විණි, එයින් මෙයින් අප ඇගේ නිවස අසලට ම පැමිණ තිබුණි. ඈ මා දෙස බැලුවා ය. ගෙ තුල ඇගේ අම්මා කිසියම් වැඩක් කරනු, විදුලි පහන් එළියෙන් මට පෙණුනි,

"
එහෙනම් උත්පලා මං යනවා. ආයෙ එන්න කෝ ඒ පැත්තෙ"

"
තෑන්ක්ස් දසිත්! එන්න වෙනවා කොහොමත් ආයෙම! ගණන් අහගන්න එපැයි....... ඇතුලට එනවද ඔයා? ම්ම්?"

"
දැන් බෑ ළමයෝ! පස්සෙ එන්නම්කෝ හොඳේ, මම යනවා තවත් රෑ වුනොතින් මට මෙහෙ ඉන්නයි වෙන්නේ"

"
හ්ම්ම් හ්ම්ම් පරිස්සමින් යන්න හොඳේ"


ඈ දුබල ලෙස අත වැනුවා ය. මම ඈ ගෙ තුලට යන තෙක් ම ඈ දෙස බලා සිටියෙමි.

------------------------------------------------------------
ඉතිරිය පසුවට..........
------------------------------------------------------------



------------------------------------------------------------
------------------------------------------------------------
------------------------------

"අනේ සොරි ඔයා නිල් ම නිල් පාට වෙලා" - :::උත්පලා::: - :::ඇය ආදරයේ දෙවගන වූවාය::: [දෙවන කොටස]




උත්පලා ගැන ම වැඩියෙන් කියවීම ඔබ අනුමත නො කරනු ඇත. එහෙත් ඇය මෙහි කතා නායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමැතිව මෙම කතාව සාධාරණ ව ඉදිරියට ගෙන යා නො හැක. මම ඇගේ පෙනුම පිළිබඳ අංශු මාත්‍රයක සිතිවිල්ලක් ඔබට ගෙන හැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇය ව හඳුනන්නේ නැත. කිසි දා හඳුනා ගන්නේ ද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දීමට සූදානම් ය. "ඈ හරියටම මගේ සොහොයුරිය වැනිය". මගේ සහෝදරිය පිළිබඳ නො රුස්සන ස්වභාවයක් දක්වන මා වැන්නකු මිතුරියක් සහෝදරියකට සමාන කරන්නේ මන්දැයි ඔබ අසනු ඇත. එය මට අමුත්තක් නොවේ. මාගෙන් කොතෙකුත් දෙනා එසේ අසා ඇත. එය පැහැදිලි කිරීම මදක් අමාරු කාරියකි. උත්පලා මා සමග කොයි තරම් මිතුරු වුවද ඈ තුල පැවති එක් ගුණාංගයක් මෙයට හේතුව වන්නට ඇත. ඒ නම් මා ගැන සහ වඩාත් ම මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද අක්කාටත් වඩා සෙවිල්ලකින් ඈ පසු වීමයි. මගේ පිස්සු වැඩ වලටත් කිසිවක් නොකියා ම උදව් කරන, එහෙත් පමණට වඩා මා "වළෙහි" හැසිරෙන බව දුටුවොත් ඈ සතු නිෂේධ බලය පාවිච්චි කොට මා ගොඩ ගන්නා මෙවන් කෙල්ලක් ගැන ඔබ අසා වත් නොමැති බව මම ඔට්ටු අල්ලමි. ඇත්ත ය! ඈ මා පිළිබඳ දරන්නේ තවත් එක කොල්ලෙකු ගැන දක්වන හැඟීමක් නොවේ. එහෙත් එය ආදරයත් නොවේ, මේ ලොව අතර මා ඈ ඉදිරිපිට මොකක් දෝ සිතා ගත නො හැකි හේතුවක් නිසා දන නමමි. අක්කා මමත්, උත්පලාත් ගැන දරන්නේ වෙනස් ම අදහසකි. ඈ සිතා ඉන්නේ මා තවමත් පොඩි එකා බවත් සහ උත්පලා යනු ඇගේ ඔත්තු සේවයේ දක්ෂ සේවිකාවක් බවත් ය. මා සමග මිතුරු කෙල්ලක් සිටීම පවා අක්කාට මහත් විනෝදයක් ගෙන දුන් බව නම් නොරහසකි.

"
පුදුමයි මල්ලි උඹේ යාළුවෙක් හැටියට වත් කෙල්ලක් ඉන්නවා".

ඈ මට දිනක් කිව්වා ය.

"ඒ මොකෝ හරකියේ?"

"නෑ ඉතිං පෝරිසාදයෙක් එක්ක යාළුවෙක් වෙලාවත් ඉන්ඩ කැමති කව් ද, පිස්සු නටන් නැතුව වැඩ කරනවා නැත්නම් කෙල්ලෙක්වත් බලන එකක් නෑ".

"
ඉතිං බං බලන් නැත්තෙ මගෙ දිහානේ, ඒකට ඔහෙගෙ ඇඟ කසනව ද?".

"
නෑ ඉතිං".

අක්කා සමච්චල් සිනාවක් පෑවා ය.

"
මගෙ මල්ලියා ගෙදරට නාකි උනා ම මට නෙවේ බලාගන්ඩ වෙන්නේ කන්ඩ අඳින්ඩ දීලා".

ඈ අදහස් කලේ කුමක් දැයි, මට වැටහීමට දින ගණනාවක් ගත වුවත්, ඇගේ එම ඇනුම්පදය නිසාම මම වැඩියෙන් කෙල්ලන් ආශ්‍රය නො කළෙමි. මුලින් මා උගත් බාලක පාසලේ දී මෙන් ම මෙහි දී ද එසේ වූවා නම් මගේ අනාගතය ම මහා "ගෑනු ඩයල්" කාඩ් එකකින් සැරසෙන බව මම අදටත් සිහි කරමි. මාගේ යහළුවන් අතරට තම ගැංසියේ උත්පලා ද එක් වූ බව අක්කා දැන ගත්තේ කෙසේ දැයි මම නො දනිමි. එහෙත් ඈ එය දැන ගත්තා ය. 10 ශ්‍රේණි අවසාන වාර විභාගයේ අවසාන දිනයේ මම චිත්‍ර විෂයේ යෙදීම නිසා අනිත් උන්ගේ පිටවීමෙන් පසුව ද මට රැඳී සිටීමට සිදු වූයේ පෙර පවකට විය හැක. කල්පයක් මෙන් දැනී ගිය අමතර පැය තුනකට පසු මම පන්තියෙන් පිටතට පැමිණෙමින් සිටියෙමි. කිසිවකු විසින් එල්ල කල නිල් ප්‍රහාරයකින් මම නෑවී ගියෙමි. ඉහින් කණින් නිල් පැහැ බේරෙන අතරේ මා අධීක්ෂණයට සිටි ගුරුතුමා ද කට ඇරන් මා දෙස බලා සිටියේ ය.

ඉන් පසු මා පිටුපස සිටි අයෙක් ට අත දිගු කොට

"මෙහෙ වරෙන්" 

කීවේ ය. ඉදිරියට ආවේ කව් දැයි ඔබ අනුමාන කරන්නට ඇත. ඔව්! ඒ උත්පලා විය. 

"කිව්වහම වරෙන්!"

 
ඈ ගුරුවරයා ළඟට ආවා ය. ඇගේ ඇස් දෙකින් කඳුළු නො වැටුනත් අතෙහි වූ ජලය පිරුණු පොලිතින් කවර දෙකක් මගේ නෙත ගැටුණි.

"තමුසෙ හිතන් ඉන්නෙ මේක කෝලම් මඩුවක් කියල ද? ? ඉස්කෝල අස්සේ ඕව බෑ..... බලනවා තව ඩිංගෙන් මමත් ඉවරයි නොවැ? ? අද තමුසෙට කලින් යන්න බෑ! දණ ගහනවා මෙතැනින්. හ: මුං කෙල්ලෝ නෙවෙයිනේ වසවර්ති මාර දූතියො".

ගුරුතුමා ඇගේ අතින් අල්ලා බිම දණ ගැසීමට නියම කලේ ය. මම ඈ දෙස බැලුවෙමි. අභය දානය ඉලා හඬන අහිංසකාවියක් මෙන් ඈ නෙත් බිම යොමා සිටියා ය. පිටුපසින් ඇසුණු සද්දයකින් මම එදෙස හැරුණෙමි. එහි සිටියේ අක්කා ය. උත්පලා නිල් ගසන්නට ඇත්තේ අක්කාට ය, එහෙත් එය වැදුණේ මට නිසා ඇයට දඬුවම් විදීමට සිදු ව ඇත. මට අක්කා කෙරේ කෝපයක් ද, උත්පලා කෙරෙහි අසීමිත අනුකම්පාවක් ද ඇති විණි. ඇගේ දෑසේ වූ බැල්ම එවැනි හැඟීමක් ඕනෑම අයකු තුල ඇති කරන්නට සමත් වෙයි.

"
සර්!" 

මම හඬ අවදි කළෙමි. ගුරුවරයාත්, උත්පලාත් මා දෙස බැලුවේ එකවිටය.

"සර්! මගෙත් වැරැද්ද, මම මොකුත් බලන් නැතුව එළියට පැන්න. මෙයාට යන්ඩ දෙන්න සර්..... නැත්නම් මටත් මේ දඬුවම ඕන"

ගුරුවරයාගේ කට කොණකට නැගී ආවේ සිනහවකි. 

 "
ඔය ළමයා ද එතකොට වැරදි? ? හ: විනයක් තියෙන්න ඕන මොන දේක උනත්".

කෙල්ලක් ව බිම දණ ගස්වා තිබීම විනය වත් දැයි ඇසීමට සිතුණ ද මම කට වසා ගතිමි. 

"ඔය ළමයා මෙතැනින් යන්ඩ දැන්, විභාගෙ ඉවරයිනෙ! ඈ? මෙයා ඉඳපු දෙන්".

මම එකටෙක කිරීමට ම උපන්නෙමි. ගුරුවරයා බලා සිටි යදී ම ඈ අසල දණ නමා බිම වාඩි වීමි. අක්කා මුව හයාගෙන මා දෙසත් ගුරුවරයා දෙසත් බැලුවා ය. ගුරුවරයාට උපරිම කේන්තිය ම නැංග බව අක්කාට වැටහෙන්නට ඇත. ඇය සිය බලය පාවිච්චි කලේ මේ වෙලාවේ දී ය. ඇය කිසිත් නො දන්නා සේ පන්තිය තුලට ආවා ය. ගුරුවරයා හමු වී මදක් කතා බහ කරන ලදී, අනතුරුව මගේත්, යෙහෙළියගේත් කණින් අල්ලා ඇද ගෙන යන අක්කා ව දර්ශනය විය. 

අක්කා මාව රැගෙන ගියේ පාසලේ ක්‍රීඩාගාරය දෙසට ය. යම් තරමක පාළු බවක් ඉසිලුවත් විභාග නිසා පාසල් කලින් අවසාන වීමේ ප්‍රීතිය සැමරීමට පිට්ටනියේ නොයෙකුත් ආතල් පැවැත් විණි.

"
තමුසෙලා දෙන්න අඳුරන ව කියල මම දන්නෙ නෑ නේ? ඒ කොහොමද?"

අක්කා ඇසුවා ය. ඒ වචනවල ගැබ් වූ අර්ථය මට වටහා ගැනීමට අපහසු නො විණි. අක්කා අසන්නේ ඈ මගේ පෙම්වති ද යන්න යි. උත්තර දුන්නේ මම නොව උත්පලා ය. ඈ සිය කුරුලු සරින් සියලු විස්තර අක්කාට පැහැදිලි කර දුන්නා ය. 

"
හ්ම්ම්ම් හ්ම්ම් එහෙමයි වුනේ එතකොට නේද".

අක්කා නඩු තීන්දුව දෙන්නට සූදානම් වෙයි.

"
කොහෙද එක පන්තියෙ උනාට අද වෙන කම් කතා කරලවත් නෑ" උත්පලා අක්කාට කීවේ මා දෙස බලා නෝක්කාඩු ස්වරයෙනි.

"
එහෙම තමයි අපේ මල්ලිලා!" අක්කා මා වැනුවා ය.

"ඒ උනාට මම කරපු දේ සාධාරණ කරන්න හැදුවනේ මෙයා, තෑන්ක්ස්! ඔයා හොඳ ම හොඳ කොල්ලෙක්".

උත්පලා කීවේ ඇත්තෙන්ම ස්තුති පූර්ව කව බව මට වැටහුණි. 

"
අපෝ ඕක මොකක්ද! මම කලේ මට හරිය කියල හිතුණ දේ! අනික කෙල්ලෙකුට ඔහොම පනිශ් කරන්න හොඳ ද? නෑ නේ".

මම කීවෙමි. 

"
යකෝ! මයෙ හිතේ මේකා ඔය කෙල්ලෙක් එක්ක මූණට මූණ කතා කලේ මම දැකපු පළවෙනි පාරට."

අක්කා සමච්චලයෙන් කීවා ය. 

"කොහෙද ගෙදරත් ඉතිං ගෑණි වගේ නේ ඉන්නේ"

අක්කාගේ වදන් හමුවේ උත්පලා මා දෙස බලා සිනාසුණා ය. [කලිසම මා වෙතින් මිදී පියාඹා යනු මට දැනුණි, එය ඈත අහසේ පාවී ගියේ ය].

"
අනේ එහෙම පේන්නෙ නෑ නේ".

උත්පලා මා ආරක්ෂා කිරීමට මෙන් කීවා ය. 

"
ඒක නෙවී දැන් වත් ඔයා ව අඳුරන්න එපැයි, නම මොකක්ද?"

මම ලැජ්ජාව වසා ගැනීමටත් සමග ඇසීමි.

"
මම උත්පලා! ඔයා?"
["උත්පලා" ඒ වචනය මගේ දවසේ වචනය වූවා ට සැක නැති, ඒ තරම් ම අර්ථයක් එහි විය].

"
දසිත්".

"
මේ ඉන්නෙ මගෙ වන් ඇන් ඔන්ලි සහෝදරයා".

අක්කා ඌණ පූරණයක් එක් කලා ය. උත්පලා සිනහ වූවා ය.

"
මට යන්න ඕන අක්කේ! ස්කූල් වෑන් එක ඇවිත් ඇති. බායි! මම යනවා දසිත්! අනේ සොරි ඔයා නිල් ම නිල් පාට වෙලා"

"
නිල් වලින් නෑව ම රතු පාට වෙනවයැ මෝඩියේ, පරිස්සමින් යන්න"

අක්කා කීවා ය.

"
අපෝ කමක් නෑ, බායි!".

මමත් කීවෙමි. සබකෝලයක් නැතිව ඒ වචන පිට කිරීමට ලැබීම ද වාසනාවකි. එදින සවස අක්කා මා පාඩම් කරද්දී මගේ කාමරයට ආවේ මා සඳහා තේ කෝප්පයකුත් රැගෙන ය. වේලාව සවස හතරට පමණ වූයෙන් මව සහ පියා තවමත් පැමිණ නැත.

"
මල්ලි පාඩම් කරනවද?".

ඈ ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුම වීමි.

"
මොකෝ කවදාවත් නැතුව මාව මතක් වෙලා? ශාහ්! තේ එකකුත් හදල තියෙන්නේ".

"හ්ම්ම්, මල්ලි මේ".

"
ඔය එන්නේ නම් මොකක් හරි ඉල්ලන්න, මට තේරෙනවා ඒක".

"
ඔව්".

"
මොකක්ද?"
අක්කා මා අසලින් ම වාඩි වූවා ය.

"
මල්ලි, මම ඔයා ව දැක්කේ මහ වගකීමක් නැති වස නපුරෙක් විදියට, ඒත් මට දැන් තේරෙනවා ඔය වගකීමක් තියන කොල්ලෙක් කියල"

මම පුදුම වීමි. ඈ මා සමග කුමක් කතා කරන්නට ද මේ එන්නේ?

"
ඉතින් ඇයි එහෙම හිතන්නේ අක්කේ?".

"
පනින් නැතුව ඉන්නවකෝ කියන කම්. ඔයා අද අර කෙල්ල නිසා අර වගේ ප්‍රශ්නෙකට පැටලුණා, බලන්න ඒක මම දැකපු ගොඩක් ම ලොකු කැප කිරීමක්".

"ඒක මහ දෙයක් නෙවී අක්කේ! මට පව් කියල හිතුණ එයා දැක්ක ම! අනික එයා කරදරේ වැටුණේ ඔයා නිසා යි".

"මොක හින්ද හරි, ඔයා වෙන කෙනෙක් වෙනුවෙන්, ඒ කියන්නෙ විශේෂයෙන් අඳුරන්නෙ වත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඉදිරිපත් උනා, බලන්න ඔයාගෙ හොඳ ලස්සන ගති ගුණ එළියට ගන්න ඔයාට ඔය වගේ ම සිද්ධියක් එන්න ඕන ද?".

"
නෑ එහෙම එකක් මම කල්පනා කරල නෑ".

"
මල්ලියෝ, මේ අහපන්. දැන් උඹ මගේ මල්ලි කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ! ඉස්සර මම මල්ලි ව දැක්කේ කිසිම සතුටක් නැති, යාළුකමක් නො දන්න, ගෑනියෙක් වගේ එකෙක් හැටියට. ඒත් ඔයා මගෙ ඇස් ඉස්සරහ ම පෙන්නුව ඔයා එහෙම නෑ කියල. මම විතරක් නෙවෙයි උත්පලා උනත් එහෙම හිතනවා".

"
ම්ම්ම්ම් අනේ මන්ද අක්කේ".

"
අනේ මන්ද නෙවී, මම උත්පලා ගැන නො දන්නවා නෙවීනේ? ඒකි මහ පුදුම චරිතයක් කතා බහ කරන්නෙත් හිතල මතල. ඒකිගෙන් සප් එක ලැබෙන නම් ඉස්කෝල ම උනත් නම්ම ගත්තෑකි".

"
මට ඉස්කෝල නම්ම ගන්න ඕන නෑ අක්කේ, මම පාඩුවෙ ඉන් නම්".

"
මම කියන්නෙ මේ කයි මලයෝ, නමක් තියපන්. ඔයාට කරන්න පුළුවන් වල් නැති ඕනම කොලු කමක් කලාට කමක් නෑ, ඒත් වැරදි පාරෙ යන්න එපා. එහෙම උනොත් උඹට දෙයියන්ගෙම පිහිටයි."

අක්කා මගේ නිදහස මෙතෙක් කාලයක් සීමා කොට තිබූ බැම බොහොමයක් එදින සිට නිදහස් කළා ය. උත්පලා නිසා මට ලැබුණු පළමු දායාදය එය යි.

**********

"මල්ලි මල්ලි අන්න උත්පලා මෙහෙ එනවා කිව්ව අනිද්දා".
අක්කා දිනක් පන්ති ඇරී නිවසට පැමිණ මට කිව්වා ය. 

 "
ඉතිං".

"
ඉතිං කියන්නෙ ඕයි, තමුසෙගෙ යාළුවානේ".

"
මටත් වඩා එයා ව අඳුරන්නෙ අක්කනේ, එයා කව් ද? කොහේ ද? මොකුත් මම දන්නෙ නෑ!".

"
මැටි හරකෝ එහා ලේන් එකේ ඉන්න කෙල්ල ව මූ අඳුරන්නෙ නෑ".

"
අනේ ඇත්තටම මම ඒ බවක් දැනන් හිටියේ නෑ අක්කේ, අනික මේ නිවාඩු කාලේ මොකෝ එයා මෙහෙ එන්නෙ?".

"
උත්පලයි එයාගේ අම්මයි අද ටවුමෙදි හම්බ උනා මට, එයාලගේ අම්ම කිව්වා උත්පලාට ගණන් එහෙම ගොඩක් අමාරුයි, ඉතින් පොඩ්ඩක් උගන්නන්න කියල".

අක්කා රූපවාහිනිය දමා වාඩි වූවා ය.


"
ඉතින් මම කිව්ව අනිද්දා මම ගෙදරය, පන්ති නැතිය, මේ පැත්තෙ ආවොත් කියල දෙන්නම් කියල. අනේ බං තරහ නැතුව ඔන්න ඔය බිස්කට් ටිං එක දෙනවා ද?".

------------------------------------------------------------
ඉතිරිය පසුවට..........
------------------------------------------------------------



------------------------------------------------------------
------------------------------------------------------------
------------------------------